ARCHAEOLOGICAL REMAINS OF LUMBINI - The palce of Buddha was born

ස්ථිර ලෙසින්ම මෙම පුදබිමෙහි සිදුහත් කුමරු උපන් බව මෙම ශිලා ලේඛන සාක්ෂිය ඉතා විශිෂ්ට පුරාවිද්‍යාත්මක සාක්ෂියක් ලෙස පිළිගෙන ඇත.

ARCHAEOLOGICAL REMAINS OF KAPILAVSTU, LUMBINI

ARCHAEOLOGICAL REMAINS OF KAPILAVSTU, LUMBINI Source: Archaelogy department - Sri Lanka

ලුම්බිනි පුදබිමේ මීට වසර 2640 ඉහත දීසිදුහත් කුමරු උපන්ස්ථානය දැක්වෙන පාෂාණය(MARKER STONE)

සිද්ධාර්ථ කුමාරයා උපන් ලුම්බිනිය පිහිටා තිබෙන්නේ මෙකල ඉන්දියාව සහ නේපාලය යන රටවල් දෙකේ දේශසීමාවෙන් කිලෝමීටර් දහයක් පමණ ඇතුළට වන්නට නේපාලයේය. නේපාලයේ බටහිර කේරායි ප්‍රදේශයේ පිහිටි ලුම්බිනි සල් වනය බුද්ධ කාලයට පෙර සිටම කපිලවස්තු සහ දෙව්දහ පුර යන ප්‍රදේශවාසීන්ගේ පොදු විනෝද උයනක් ලෙසින් පැවතුණි.

ප්‍රමෝද වන ලෙසින් බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන ලුම්බිනි සල් වනය සල්ගස්වලින් පිරී තිබිණි. එපමණක් ද නොවේ, විවිධ වර්ණවලින් යුක්ත පුෂ්පයන් ද පිපී සුවඳ හමමින් පැවැතිණි. විවිධ මීමැසි වර්ගයන්ගෙන් ද ගහන වූ මේ රමණිය දැකුම්කලු සල් වනය කාගේත් සිත්ගත් තැනක් විය. කුරවි කෝකිළ නාදයෙන් යුත් මේ වන උයන බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන ඉන්දු දෙවියාගේ චිත්ත ලතා උයනට සමාන කර ඇත. (ARCHAEOLOGICAL REMAINS OF KAPILAVSTU, LUMBINI AND DEVDAHA - B. K. RIJAL - P. 11 - 1979 - KATMANDU NEPAL)

සිදුහත් කුමරු උපන් ලුම්බිනියේ මායාදේවි විහාරය - සිරිසමන් විජේතුංග - පි. 55 - 56 (2014) සුබෝධි ප්‍රකාශන)

මීට වසර 2640 ඉහතදී මහ බෝසතාණන් වහන්සේ එම සල් උයනේ උපත ලැබු බව මහා පරිනිබ්බාන සූත්‍රය ඇතුළු බෞද්ධ සාහිත්‍යයෙහි ද සංස්කෘත (මහායාන බෞද්ධ) සාහිත්‍යයෙහි ද සඳහන් වී ඇති කරුණකි.

මෙකල නේපාලයේ කත්මණ්ඩු නුවර සිට කිලෝමීටර් 90 පමණ දුරින් පිහිටි මෙම පුද බිමට බෝසතාණන් වහන්සේ උපත ලැබු දිනයේ සිට ක්‍රිස්තු පූර්ව 250කට පෙර බෞද්ධ ජනතාව මෙන්ම විවිධ පුද්ගලයන් පැමිණෙන්නට ඇත. එහෙත් විශේෂිත වූ එක් මහා පුරුෂයෙක් පැමිණියා පමණක් නොව සිදුහත් කුමරු එහි උපන් බව ද තමාම පැමිණ මෙහි ශිලා ස්තම්භයක් පිහිටුවන ලද බව ද ශිලා ටැඹෙහි අසෝක රජතුමා ලියා තැබුවේය. ඒ ශිලා ටැඹෙහි සඳහන් වන්නේ මෙසේ ය.

“දේවානම්පියදසි (රජු - අසෝක) ගේ අභිෂේකයෙන් අවුරුදු විස්සක් ගිය කල්හි ශාක්‍යමුනි බුදු රජාණන් වහන්සේ උපන්නේ යැයි (සලකා) තමාම පැමිණ ගෞරව කළේය. භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ මෙහි උපන්නේ යැයි අසා (ප්‍රකාශයට පත්කොට) දැඩි ඇල්මකින් යුක්තව ශිලා ටැඹක් පිහිටුවීය. ලුම්බිනි ග්‍රාමය බද්දෙන් නිදහස් කොට අර්ථ ලාභය ඇති කළේය.

(අසෝක ධංම ලිපි (ටැම් ලිපි හා ලෙන් ලිපි) මහාචාර්ය අබය ආර්යසිංහ - පි. 38 - 59 (2000)

ස්ථිර ලෙසින්ම මෙම පුදබිමෙහි සිදුහත් කුමරු උපන් බව මෙම ශිලා ලේඛන සාක්ෂිය ඉතා විශිෂ්ට පුරාවිද්‍යාත්මක සාක්ෂියක් ලෙස පිළිගෙන ඇත. මීට පසුව ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේ දී ෆාහියන් හිමි හා ක්‍රිස්තු වර්ෂ හත්වන සියවසේදී හියුං සාං යන චීන ජාතික භික්ෂුන් වහන්සේලාගේ වාර්තාවල ද උන්වහන්සේලා මෙම පුදබිම පැමිණි බව ද සිදුහත් කුමරු මෙහි උපන් බව ද ලිඛිත සාක්ෂි ලෙසින් පිළිගෙන ඇත.

සිදුහත් කුමරු මෙම පුදබිමෙහි උපත ලද බව මුළු ලොවම පිළිගෙන ඇත. 2011 වර්ෂයේ සිට 2013 තෙක් මෙම පුදබිමේ මායාදේවි විහාරයෙහි පුරාවිද්‍යා කැණීමක් කරන ලද්දේ එංගලන්තයේ ඩරම් විශ්ව විද්‍යාලයේ අපගේ ද හිතවත් මහාචාර්ය රොබින් කනිංහැම් ප්‍රමුඛ පුරාවිද්‍යාඥයන් විසිනි. ඒ පිළිබඳ මේ ලේඛකයා විසින් 2014 දී “සිදුහත් කුමරු උපන් මායාදේවි විහාරය” නමින් ග්‍රන්ථයක් ද පළ කරන ලදී.

මයාදේවි විහාරය යනු සිදුහත් කුමරු උපත ලද නිශ්චිත වූ ස්ථානයෙහි ලුම්බිනි පුද බිමේ ද සල් ගස වට කර සාදන ලද විහාරයයි. මහාමායා ‍බිසව දරු ප්‍රසූතිය සඳහා සිය දෙමාපියන්ගේ නි‍ෙවස වූ දෙව්දහ පුරයට (කිඹුල්වත් පුරයේ සිට) පැමිණෙන අතරමඟදී මෙම සල් වනයට පැමිණි බව ඉතා ප්‍රකටය. එහි මලින් බර වූ සල් අත්තක් ඇල්ලීමට උත්සාහ කරද්දි සිදුහත් කුමරු උපත ලද බව බෞද්ධ සාහිත්‍යයේ මෙන්ම අමරාවති, ගන්ධාර, ආදි මූර්තිවල ද නිරූපණය කර ඇත.

මෙම මායාදේවි විහාරයෙහි එක් සුවිශේෂ වූ ශිලාමය කොටසක් පුරාවිද්‍යාඥයන්ට ඒ කැණීමට පෙර සිටම හමුවී තිබිණි. ඒ ශිලා ඛණ්ඩය පුරාවිද්‍යාඥයන් විසින් හඳුන්වා ඇත්තේ මාර්කර් ස්ටෝන් MARKER STONE යන නාමයෙනි. එම ස්ථානය ඉතා ආරක්ෂා සහිතව අදත් මායා දේවි විහාරයේ ස්ථානයක තැන්පත් කර ඇත. මෙම පාෂාණය පිහිටුවා තිබෙන්නේ සිදුහත් කුමාරයා සල්ගස් සෙවණේ උපත ලැබු ස්ථානයෙහිය. ඒ වටා සාදන ලද විහාරය මායාදේවි විහාරය නම් වේ. මෙම පාෂාණය (MARKER STONE) ආරක්ෂා කිරීම සඳහා වෙඩි නොවදින වීදුරු ඵලකයකින් ආවරණය කර තිබේ. මෙම වීදුරු ඵලකය දැවයෙන් නිර්මාණය කරන ලද රාමුවකින් ද වානේ රාමුවකින් ද නිර්මාණය කර තිබේ.

මායාදේවි විහාර පුදබිමෙන් හමු වූ (මෙම ස්ථානයෙන්ම) මහාමායා දේවිය ප්‍රජාපති දේවිය සහ සිදුහත් කුමාරයාගේ උපත නිරූපණය කෙරෙන මූර්ති ඵලකයක් ද මෙහි තිබී හමු වී ඇත. එය ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසට (ගුප්ත රාජ යුගයට) අයත් සේ සැලැකේ. මායා දේවිය ස්නානය කළ පොකුණ ද (මායාදේවි පොකුණ) ද මෙම පුදබිමෙහි දැකිය හැකිය.

ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ සිරිසමන් විජේතුංග මහතා විසින් සපයන ලද ලිපි ඇසුරිනි...


4 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Listen to our podcasts

Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now