තරගකාරි අධ්‍යාපනයට දරුවන් යොමු කරනවා මිස ඔවුන්ගේ ආධ්‍යත්මික සංවර්ධනය පිළිබදව දෙමාපියන් නිසි අවධානය යොමු නොකරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පවසයි. මේ හේතුව නිසා දෙමාපියන් හා දරු දැරියන් අතර මනා සබදතාව බිද වැටී මධ්‍යම පළාතේ පමණක් දැරියන් හාරසියයකට අධික පරිසක් පරිවාසගත කිරීමේ ඛේදනීය තත්ත්වයක් උදාවී ඇතැයි ඇය සදහන් කළාය. පාසල් වයසේ පසුවන එම දැරියන් අතර වැඩි ප්‍රමාණයක් ගැබිනියක් බවට පත්ව ඇති තත්ත්වයක් උදාවී ඇති බව කණගාටුවෙන් වුවද කිව යුතුව ඇතැයි ඊයේ (අගෝස්තු 21) මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවැති උත්සවයකදී ඇය සදහන් කළාය.
රණවිරු සේවා අධිකාරය සංවිධාන කළ, යුද්ධයේදී මිය ගිය හා ආබාධිත තත්ත්වයට පත් රණවිරුවන්ගේ පවුල්වල දරු දැරියන් සදහා අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයක් එම අධිකාරියේ සභාපති අනෝමා ෆොන්සේකා මහත්මියගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
එහිදී ප්‍රධාන ආරාධිතයා වශයෙන් එම අවස්ථාවට සහභාගී වූ ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් පවසා සිටියේ අතීතයේ දී දරුවන්, ගුරුවරුන් හා වැඩිහිටියන් අතර මනා සම්බන්ධතාවක් පැවැති බැවින් සමාජය ඉතා ශක්තිමත්ව තිබු බවත් නමුත් අද එම සමීප සබදතා බිදවැටී දරු දරියන් සමාජයේ අතවරයට පත්වන කණගාටුදායක තත්ත්වයක් උදාවී ඇති බවයි.
මධ්‍යම පළාතේ අතවරයට පත්වූ දැරියන් පරිවාස ගත කිරීමට සිදුව ඇති බැවින් ඔවුන් කිසිසේත්ම සමාජයෙන් කොන් නොකළ යුතු බවත් ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත එම දරුවන්ට සුදුසු පරිසරයකින් යුතු පරිශ්‍රයක් නිර්මාණය කරන බව කී ආණ්ඩුකාරවරිය මෙසේ කීවාය.
"....අද විදුහල්පතිවරු අපට පැමිණිලි කරනවා දරුවන්ට පාසලේ දී ඉගැන්විය නොහැකි තත්ත්වයක් උදාවී තිබෙන බවට. ඇතැම් දරුවන් ගුරුවරුන්ට පහරදීමට උත්සහ කරනවා. දැඩි මුරණ්ඩු ගතියකින් සිටින්නේ. ඇතමුන් නිරන්තරයෙන් සිනා සිසී සිටිනවා. අද දරුවන් රැසක් මත් දුව්‍යවලට ඇබ්බැහිවී සිටිනවා. පුවක් වර්ගයක් මේ වන විට පාසල් දරුවන් අතර ප්‍රචලිතව පවතින අතර මේ හේතුවෙන් දරුවන් නිරන්තරයෙන් සිටින්නේ මත් ගතියෙන් යැයි ගුරුවරුන් අපට ප්‍රකාශ කළා. දෙමාපියන් දරුවන් පිළිබදව අවධානය යොමු නොකරන නිසා ඔවුන් වැඩිහිටියන්ගේ ගොදුරු බවට පත් වෙනවා...."
"...අතවරයට පත් පාසල් දැරියන්ගෙන් වැඩිපිරිසක් ගොදුරු බවට පත්ව ඇත්තේ ඔවුන්ගේ ඥාතීන්ගෙන් හා ගුරුවරුන්ගෙන්. මෙය කණගාටුදායක තත්ත්වයක්. මේ නිසාම දරු දැරියන්ට සිදුවන අතරවර පිළිබදව දැනුම්දිම සදහා දුරකථන පද්ධතියක් ස්ථාපිත කිරීමට අප පියවර ගන්නවා. දෙසැම්බර් මාසය වන විට මහනුවර දිස්ත්‍රිකයෙන් ආරම්භ කරන මෙම ස්ථාවර දුරකථන පද්ධතිය මගින් අන්‍යතාව හෙළි නොකරන අයට පවා තොරතුරු දැනුම් දිය හැකියි. මෙවැනි ක්‍රියාමාර්ග තුළින් අප උත්සහ කරන්නේ දරු පරපුර ආරක්ෂා කර ගැනීමටයි. මහනුවර පොලිස් ස්ථානය ද අපට මේ සදහා විශාල සහයෝගයක් ලබා දෙනවා.
වැරදි කළ අයට දඩුවම් ලබා දිය යුතුයි. ශ්‍රී ලංකාව අතීත රජ සමයේ රාජ දණ්ඩණයට යටත් වූ රටක්. වරදකරුවන්ට මරණ දඩුවම පවා පැනවූ රටක් වන මෙහි අවම වශයෙන් රාජ ආඥාවක් හෝ ක්‍රියාත්මක විය යුතුයි...." ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
රණවිරු සේවා අධිකාරියේ සභාපති අනෝමා ෆොන්සේකා මහත්මිය, උපසභාපති උපුලාංගනී මාලගමුව මහත්මිය, එම අධිකාරියේ මධ්‍යම පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ තුෂාර ජයසිංහ මහතා ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්විය. රණවිරු පවුල්වල දරු දැරියන් 110 දෙනෙකු මෙහිදී අධ්‍යාපන ශිෂ්‍යත්වයෙන් පිදුම් ලදහ.

