SKIP TO MAIN CONTENT

No plans to change the Prime Minister - Duminda Dissanayake says..

Duminda Dissanayake -
SLFP Secretary gennaral Source: SBS Sinhala

3 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Presented by Nadeeka Daya Bandara - Sri Lanka



Skip to article content

අග්‍රාමාත්‍යධූරයේ වෙනසක් සිදුකර ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නව අග්‍රමාත්‍යවරයෙකු පත් කිරීමේ කිසිදු අදහසක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය. ඒ පිළිබදව කිසිදු සාකච්ඡාවක් හෝ පවත්වා නොමැති බව පසුගියදා මහනුවර ගන්නෝරුවේදී පැවැති උත්සවයකින් අනතුරුව ඒ මහතා මාධ්‍ය හමුවේ අනාවරණය කොට සිටියේය.

එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා පක්ෂයට බහුතර මන්ත්‍රීන් 113ක බලයක් නොමැතිවූ නමුත් විරුද්ධ පක්ෂයෙන් මන්ත්‍රීවරු ලබා ගෙන ආණ්ඩුවක් පිහිටුව හැකි වූ නමුත් එවැනි ක්‍රියාමාර්ගයක් නොගෙන අවබෝධයෙන් යුතුව මෙම ආණ්ඩුව පිහිටවූ බව ඒ මහතා කීවේය. ප්‍රධාන පක්ෂ දෙක අවබෝධයෙන් යුතුව පිහිටවූ මෙම ආණ්ඩුවේ අග්‍රමාත්‍යවරයා ඉවත් කොට වෙනත් අයෙකු පත් කිරීමට කිසිදු උත්සහයක් මේ වන තුරු දරා නොමැති බව කී මහ ලේකම්වරයා මෙසේ කීවේය.

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සංවත්සරය සැප්තැම්බර් මස 02 වන දින සැමරීමට නියමිත වුවත් උසස් පෙළ විභාගයේ අවසන් දිනය එදිනට යෙදී ඇති බැවින් සංවත්සරය සැප්තැම්බර් 03 දින සැමරීමට අප කටයුතු කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සහිත පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම තීන්දුව ගත්තේ උසස් පෙළ දරු දැරියන්ගේ සුභ සිද්ධිය සදහායි. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සර උළෙල සැප්තැම්බර් 03 වන දින කොළඹ කැම්බල් පිටියේදී පැවැත්වීමට නියමිතයි."

වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ,

"මේ සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු සාමාජිකයන්ට, පාක්ෂිකයන් හා නිලධාරීන්ට ආරාධනා කොට තිබෙනවා. සෙසු පක්ෂ සදහා ආරාධනා කරන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා දැනුවත් කළා. මෙවර අප පවත්වන්නේ සැබෑ සංවත්සර සැමරුමක් මිස ඔළුගෙඩි ප්‍රමාණයෙන් පවත්වන සැමරුමක් නොවෙයි."

"ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජය ගැනීමට අවශ්‍යයි. මේ සදහා සුදුසු අපේක්ෂකයන් සම්මුඛ පරීක්ෂණ මගින් තෝරා ගැනීම සිදුකළා. දූෂණ අපචාරවලට සම්බන්ධ නොවුනු අවම වශයෙන් පොලිස් පැමිණිල්ලක් හෝ ඇත් දැයි පරීක්ෂා කිරීම සම්මුඛ පරීක්ෂණයේදී සිදුකළා. මෙවර අප අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කරන්නේ ඉතාමත්ම සුදුසු පුද්ගලයන් පමණයි."

පළාත් සභා හා පළාත් පාලන මැතිවරණවලදී මෙන්ම ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කොට එහි ජනාධිපතිවරයෙකු පත්කිරීමට අප කටයුතු කරනවා. ඒ සදහා උචිතම අපේක්ෂකයා වන්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා දෙවරක් ජනපතිධූර හොබවා ඇති බැවින් ඔවුන්ට ඒ සදහා ඉදිරිපත්වීමට හැකියාවක් නැහැ. ඒ නිසා උචිතම පුද්ගලයා වන මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් ඉදිරියේදී පිහිටුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Listen to our podcasts

Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now