රුසියාවේ මේ දිනවල පැවැත්වෙන 2018 පා පන්දු ලෝක කුසලාන තරගාවලියේ මේ වන විට පිළිමලුන් පිටු දකින වටය ආරම්භ වී තිබේ.
ඒ අනුව පිළිමලුන් පිටු දකින වටය යටතේ ඊයේ (01/07) පැවති තරග දෙකම අවසානයේ ගෝල සමවීම හේතුවෙන් දඬුවම් පහර මගින් ජය තීරණය කිරීමට සිදුවිය.
කෙසේවෙතත්, අවසානයේ සත්කාරක රුසියාව සහ ක්‍රොයේෂියාව ඊයේ පැවති තරග වලින් ජයගන්නට සමත් වූ අතර ඔවුන් 2018 පා පන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසාන පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

ස්පාඤ්ඤය - රුසියාව
පිළිමලුන් පිටු දකින වටයේදී ඊයේ පැවැත්වුණු යුරෝපයේ පා පන්දු බලකොටුව ලෙස හැඳින්වෙන ස්පාඤ්ඤය සහ සත්කාරක රුසියාව අතර තරගයේ නියමිත කාලය අවසාන වන විට දෙපිළම ගෝල 1-1 ක් ලෙස ලබා ගනිමින් සම තත්ත්වයේ පසුවිය.
ඒ අනුව දඬුවම් පහර ලබා දීමෙන් තරගයේ ජය තීරණය කිරීමට තරග තීරකවරුන්ට සිදුවිය.
අවසානයේ රුසියාව ගෝල 4-3 ක් ලෙස ස්පාඤ්ඤය පරදා අර්ධ අවසාන පූර්ව වටයට සුදුසුකම් ලැබීය.
ක්‍රොයේෂියාව - ඩෙන්මාර්කය
ඊයේ දිනයේ පිළිමලුන් පිටු දකින වටය යටතේ තවත් තරගයක් ක්‍රොයේෂියාව සහ ඩෙන්මාර්කය අතර පැවැත්වුණු අතර එයද තරගයේ නියමිත කාලය අවසාන වන විට ගෝල 1-1 ලෙස සම තත්ත්වයේ පසුවිය.
ඒ අනුව තරාගයේ ජය තීරණය කිරීමට ලබා දුන් දඬුවම් පහර අවසානයේ ක්‍රොයේෂියාව 3-2 ක් ලෙස ඩෙන්මාර්කය පරදා අර්ධ අවසාන පූර්ව වටයට සුදුසුකම් ලැබීය.
අර්ධ අවසාන පූර්ව වටය
2018 පා පන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසාන පූර්ව වටය ජූලි 06 වන දින ආරම්භ වන අතර මේ වන විට ප්‍රංශය, උරුගුවේ, රුසියාව සහ ක්‍රොයේෂියාව ඒ සඳහා සුදුසුකම් ලබා ඇත.
ඒ අනුව අර්ධ අවසාන පූර්ව වටය යටතේ උරුගුවේ සහ ප්‍රංශය ජූලි 06 වන දින තරග වැදීමට නියමිත අතර රුසියාව සහ ක්‍රොයේෂියාව ජූලි 07 වන දින තරග වැදීමට නියමිතය.


