SKIP TO MAIN CONTENT

කොදෙව් - ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වන දිනය : චන්දිමාල් ට ICC යෙන් චෝදනා ගොනු කරද්දී දෙවැනි ඉනිමට ලංකාව 334 ක් රැස් කරයි.

2nd Test, Sri Lanka tour of West Indies at Gros Islet
Source: espncricinfo

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර කොදෙව් දූපත් වල පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වන දිනය (17/06) අවසාන වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවනි ඉනිම සඳහා කඩුලු 8 ක් දැවී ලකුණු 334 ක් ලබා සිටියි.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 87 ක්ද නිරෝෂන් දික්වැල්ල ලකුණු 62 ක්ද රොෂේන් ද සිල්වා ලකුණු 48 ක්ද නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 39 ක්ද ලබා ගත්තේය.

කාසියේ වාසිය දිනූ  ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර සියල්ලන්ම දැවී ඔවුන් ලකුණු 253 ක් රැස් කළේය.

එහිදී  නායක දිනේෂ් චන්දිමාල් සිය 11 වන ටෙස්ට් ශතකය ලබා ගනිමින් නොදැවී ලකුණු 119 ක් ලබා ගත්තේය.

කොදෙව් කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී රැස් කරගත්තේ ලකුණු 300 ක් පමණි.

මේ අතර පන්දුව පළුඳු කිරීම පිළිබඳ සැකයක් සහ පන්දුව මාරු කිරීම සම්බන්ධ සිදුවීමක් හේතුවෙන් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් හට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් චෝදනා ගොනු කර තිබේ.

කෙසේවෙතත්, එම සියලු චෝදනා චන්දිමාල් ප්‍රතික්ෂේප කර තිබේ.

ශාන්ත ලුසියාහි ඩැරන් සාමි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේ දෙවැනි දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිඩකයන් පන්දුව අසාමන්‍ය ලෙස ඔප දැමූ බවට තරඟ තීරකයින් විසින් මෙසේ චෝදනා එල්ල කර තිබේ.

කෙසේ වුවත් ඊට විරෝධය දක්වමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පෙරේදා (16/06) දිනයේදී තරගය  ආරම්භ කිරීම සඳහා නියමිත වේලාවට ක්‍රීඩාංගණයට නොපැමිණි අතර කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පමණක් ක්‍රීඩාංගණයට පැමිණ විනිසුරුවන් සමග දීර්ඝ සාකච්ඡාවක නිරත විය.

තරග තීරක ජවගල් ශ්‍රීනාත් මහතාද ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ විවේකාගාරයට පැමිණ කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කලමණාකරු අසංක ගුරුසිංහ මහත්වරු සමග මෙම සිදුවීම සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා කළේය.

අවසානයේ පැය 2 ක පමණ ප්‍රමාදයකින් අනතුරුව පෙරුවරු 11.40 ට පමණ තරගය ආරම්භ විය.

මේ අතර මේ සම්බන්ධව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ගොනු කර තිබෙන චෝදනා සඳහා ශ්‍රී ලංකා නායකයා හට කරුණු පැහැදිලි කිරීමට දෙවැනි ටෙස්ට් තරගයෙන් අනතුරුව අවස්ථාව ලබා දී ඇති බව www.espncricinfo.com වෙබ් අඩවිය වාර්තා කරයි.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව් කණ්ඩායමට වඩා කඩුලු 2 ක් අතැතිව ලකුණු 287 ක් ඉදිරියෙන් සිටියි.

අද (18/06) තරගයේ පස්වන හෙවත් අවසාන දිනය වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now