විශේෂ අවශ්‍යතා සහිත ක්‍රීඩකයන් සඳහා සංවිධානය වූ INAS - Global Games 2019 තරඟාවලිය පසුගිය දිනවල ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ බ්‍රිස්බේන් නගරයේදී පැවැත්වින. ප්‍රථම වතාවට මේ තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක් ඉදිරිපත් කර ඇත්තේ මෙවර බවද වාර්තාවේ. මෙම කණ්ඩායමට ක්‍රීඩකයන් තිදෙනෙක්, පුහුණුකරු, ක්‍රීඩකයන්ගේ සුබසාධනය බාරව කටයුතු කරන නිළධාරිනියක් සහ කළමනාකරුවෙක් ඇතුලත් විණ. මීට අමතරව ජාතික පැරාලිම්පික් කමිටුව නියෝජනය කරමින් නිළධාරිනියන් තිදෙනෙක්ද මේ සඳහා සහභාගී වූහ.
ක්‍රීඩකයන් දසදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි කරවීමට සූදානම්ව සිටියද විවිධ හේතූන් සහ වීසා නොලැබීම හේතුවෙන් අවසානයේ මේ සඳහා සහභාගී වූයේ පසිඳු අමරසේකර, කවිඳු මදුශංක සහ දිල්කී ප්‍රනාන්දු යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනා පමණි.
පැවති තරඟ වලින් පසිඳු රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනා ශ්‍රී ලංකාව පදක්කම් සටහනට ඇතුලත් කිරීමට සමත් වුයේය.
කණ්ඩායමේ පුහුණුකරු නෙල්සන් ගමගේ මහතා සහ සුබසාධන නිළධාරිනී නාලිනී රණසිංහ මහත්මිය මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග බොහෝ කාලයක් තිස්සේ කටයුතු කරමින් සිටින අත්දැකීම් බහුල වෘත්තිකයෝ වෙති. කණ්ඩායමේ කළමනාකරු වශයෙන් කරයුතු කරන ශ්‍රී ලංකා යුධ හමුදාවේ කර්නල් ධනංජය අළුදෙනිය මහතා, ජාතික පැරාලිම්පික් කමිටුවේ ලේකම්වරයා ද වේ. මීට අමතරව රසාංජලී පතිරගේ, ලසන්තා ශ්‍රියාකාන්ති, සහ දිලිනි වාරියපොල යන මහත්මීන්, ජාතික පැරාලිම්පික් කමිටුව නියෝජනය කරමින් මෙම තරඟාවලිය නිරීක්ෂණය කිරීම සඳහා සහභාගී විය. ඒ හරහා ශ්‍රී ලංකාවේ මෙම සෙමෙන් මනස වැඩෙන සහ විශේෂ අවශ්‍යතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා ක්ෂේත්‍රය වඩා පුළුල් කිරීම සඳහා අවශ්‍ය දැනුම, ප්‍රතිපාදන සහ රාජ්‍ය අනුග්‍රහය ලබා ගැනීම ඔවුන්ගේ අරමුණයි.
මේ සියලුම නිළධාරීන් නිතරම ක්‍රීඩාංගනයේ රැඳෙමින්, ක්‍රීඩකයන්ගේ අවශ්‍යතා සොයා බලා ඔවුන්ව දිරිමත් කරමින්, ඉතා උනන්දුවෙන් තම වගකීම් ඉටුකරනු දක්නට ලැබීම ඉමහත් සතුටට කරුණක් වුනු බව SBS සිංහල සේවයේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ අප වාර්තාකරු ජනක වීරසිංහ අපට පැවසුවේය.
අතිශය ජනප්‍රිය චරිත හෝ මාධ්‍ය ආවරණ නැති බැවින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ අවධානය මෙවැනි තරඟාවලි සඳහා යොමුවන්නේ ඉතා අඩුවෙනි. නමුත් කිසියම් උත්සාහයක් දරා මෙවැනි තරඟාවලි සඳහා පැමිණෙන නිළධාරීන් සමග තොරතුරු බෙදාගැනීමේ ක්‍රමවේද සකස්කර, ඕස්ට්‍රේලියාවේ ඇති ශ්‍රී ලාංකික සංවිධාන හරහා ප්‍රජාව දැනුවත් කර ප්‍රේක්ෂක සහභාගිත්වය ඉහළ නංවා මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කිරීමේ ක්‍රියාවලියට අප සියලු දෙනාගේම සහයෝගය සහ දායකත්වය ලබාදිය යුතු බවද ඔහු පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් මිලියන 1.7 ක් ආබාධ සහිත තැනැත්තන් වන අතර එය සමස්ථ ජනගහණයෙන් 8.7% කි. මව් කුසින් බිහිවන ආබාධ සහිත දරුවාට අවශ්‍ය වන ප්‍රාථමික සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමේ සිට පෙර පාසල් අධයාපනය දක්වාත්, ඉන් අනතුරුව රැකියා ලබාගැනීමේ සිට ස්වාධීන දිවියක් ගත කිරීම සඳහා දරණ උත්සාහයේදී අනේකවිධ වූ ආකල්පමය, පාරිසරික, සංස්කෘතික, සමාජයීය, දේශපාලන ගැටළු සහ අභියෝගවලට මුහුණ පෑමට සිදු වේ. මෙසේ තම මූලික අවශ්‍යතා සපුරාගැනීම අසීරු වී ඇති පරිසරයක ක්‍රීඩා, සංස්කෘතික කටයුතු සහ විනෝදාස්වාදය සඳහා ඔවුනට ලැබෙන අවස්ථාවන් අතිශය දුර්ලභ සේ සැලකිය හැකිය. එවැනි පසුබිමක INAS - Global Games 2019 තරඟාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගී වීමම මේ සඳහා ඇපකැපවී ක්‍රියාකරන සෑමදෙනා රටට හිමිකරදුන් ජයග්‍රහණයකි.

