Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මහින්දගේ හොඳ කියන ගමන් S. B. යහපාලනයට දෙහි කපයි.

S.B. criticizes Sri Lanka National Government.

Source: SBS Sinhala

එක්සත් ජාතික පක්ෂයට මහජන හිතවාදී ආණ්ඩු කිරීමේ හැකියාව නොමැති නම් බහුතර බලය සහිත ආණ්ඩුවක් නුදුරේදී බිහි කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික, හිටපු අමාත්‍ය එස්.බී.දිසානායක මහතා ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂයට මහජන නියෝජිතයන් 113කගේ බලයක් නොමැති බවත් අවම වශයෙන් ඔවුන්ට 106ක නියෝජනයක්වත් නොමැති බව හේවාහැට කිවුල්ලිද පිහිටි සිය නිවසේ පැවැති  පාක්ෂික සුහද හමුවේදී ඒ මහතා මේ බව සදහන් කළේය.

ආණ්ඩුවේ අමාත්‍යධූරයෙන් ඉවත්වූ ඒ මහතා සිය ඉවත්වීම පිළිබදව ප්‍රදේශයේ මහා සංඝරත්නය සහ තම පාක්ෂිකයන් දැනුවත් කිරීම නිමිත්තෙන් මෙම හමුව සංවිධාන කොට තිබුණි.

රටේ සංවර්ධනය එක තැන නතර වී ඇති බැවින් ආණ්ඩු කරන ආකාරය දෙස තව දුරටත් බලා සිටිය නොහැකි බව කී ඒ මහතා ජනතාවට සේවයක් හා රටට සංවර්ධනයක් උදා කර දිය හැකි ආණ්ඩුවක් බහුතර බලයක් සහිතව පත් කළ හැකි යැයි කීවේය.

පසුගිය වසර තුන හතරක කාලය තුළ රටේ රාජ්‍ය පරිපාලනය අති අසාර්ථක තත්ත්වයට පත්ව ඇති බව කී හිටපු අමාත්‍ය එස්.බී.දිසානායක මහතා සිය පාක්ෂිකයන් හමුවේ මෙසේ ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අප ආණ්ඩුකරන සමයේදී රටේ ආර්ථිකය ඉහළට ආවා. ඒක පුද්ගල ආදායම ඉහළ ගියා. අපේ විරැකියාව වේගයෙන් පහළ ගියා. රුපියලේ අගය බාල්දු නොවී ස්ථාවරව තිබුණා. අප සතු විදෙස් සංචිත ප්‍රමාණය වර්ධනය වුණා. විදේශිකයන් විශාල වශයෙන් මෙරට ආයෝජනය කළා. රටපුරා නොයෙකුත් සංවර්ධන ව්‍යාපෘති සදහා විශාල මුදල් ප්‍රමාණයක් ලැබුණා. නමුත් අද ඒ සියල්ල එක තැන හිරවෙලා කඩාගෙන වැටෙනවා.

සංවර්ධනය අඩපණ වූ තත්ත්වයකට පත් කරන්න අපට අයිතියක් නැහැ. ඒ නිසා නැවතත් කාර්යක්ෂම, වේගවත්,දේශප්‍රේමී සංවර්ධන රජයක් බිහි කළ යුතුයි.

අප අමාත්‍යධූරවලින් ඉවත්වීම හදිසියේ ගත් හිතුවක්කාරී තීන්දුවක් නොවෙයි. අතීතයේදී අප හිතුවක්කාරී තීන්දු ගත් අවස්ථා තිබුණත් අද එලෙස කළබලයට පත්ව තීන්දු තීරණ ගන්නේ නැහැ. එමෙන්ම කවදාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වන ලෙස තීන්දු තීරණ ගන්නේත් නැහැ.

පළාත් පාලන මැතිවරණයෙන් පසුව අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත්කිරීමට මුලින්ම සූදානම් වුණේ අප නොවෙයි. එක්සත් ජාතික පක්ෂයේ මූලාරම්භයේ සිටින එහි පාක්ෂිකයන් තමයි පක්ෂය රැක ගැනීමට නම් විශ්වාසභංගයක් හෝ ගෙනැවිත් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කළ යුතු යැයි සැලසුම් කර තිබුණේ. පක්ෂය දියුණු කළ යුතු නම් එහි නායකත්වය වෙනස් විය යුතුයි.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු දෙන්නෙක් තුන්දෙනෙක් පමණ නොව පනස් දෙනෙකු පමණ අවස්ථා ගණනාවකදී කියා සිටියා, රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්විය යුතු බවට. එම මන්ත්‍රීවරු ජනාධිපතිතුමා හමුවී මෙම කාරණය කිව්වා. ඒ අනුව ජනාධිපතිවරයා පුද්ගලිකව ද එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු හා අගමැතිවරයා කැදවා මේ කරුණ ප්‍රකාශ කළා. ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයාට කිව්වා. නමුත් සිදුවුණේ නැහැ.

විශ්වාසභංග සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකමතිකව තීරණය කළා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්විය යුතු බවට. නමුත් සිදුවුණේ නැහැ. ඒ අතර ඒකාබද්ධ විපක්ෂය ඉතා තාර්කික කරුණුවලින් යුතු ඉතා නිවරැදි විශ්වාසභංගයක් ඉදිරිපත් කළා. විශ්වාසභංගයේදී අග්‍රමාත්‍යවරයා පරාද කිරීම සදහා එක්සත් ජාතික පක්ෂයේ පිරිසක්ද අප සමග සූදානම්ව සිටියා. නමුත් අපේම පක්ෂයේ මහ ලේකම්වරයා තවත් පිරිසක් සමග එක්ව අග්‍රාමාත්‍යවරයා ආරක්ෂා කර ගත්තා.

විශ්වාසභංගයෙන් බේරීම සදහා විශාල වශයෙන් මුදල් දුන්නා. ඒ මුදල් සොරකම් කරන ලද සහ සම්පත් විකුණා නීති විරෝධී ලෙස රැස් කර ගන්නා ලද මුදල්ය. එහෙම කරලා තමයි විශ්වාසභංගය අනිත් පැත්තට පෙරලුවේ. ද්‍රවිඩ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වැනි පක්ෂවලට විදෙස් රටවලින් බලපෑම් ආවා. විශ්වාසභංගයෙන් අග්‍රමාත්‍යවරයා ඉතා පහසුවෙන් පරාජය කිරීමට හැකියාව තිබියදී එය කඩාකප්පල් කළේ අපේම පක්ෂයේ කිහිපදෙනෙක්. ඒ නිසයි අප ඉල්ලා අස්වීමට තීරණය කළේ.

එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කරනවා කිව්වාට අග්‍රමාත්‍යවරයා කවදාවත් පක්ෂ නායකත්වයෙන් ඉවත් වන්නේ නැහැ. ඔහු පක්ෂයේ නායකයායි. ඔහුගේ හිතවතා වන අකිල විරාජ් කාරියවසම් මහතා මහ ලේකම් බවට පත් කරනවා. වත්මන් නියෝජ්‍ය නායකත්වය තුට්ටු දෙකට පත් කර නියෝජ්‍ය නායකයන් පස් දෙනෙකු පමණ පක්ෂයට පත් කරනවා.මෙයින් සිදුවෙන්නේ නැවතත් එක්සත් ජාතික පක්ෂය තුළ විරෝධයක් මතුව පක්ෂය තුළ අර්බුද මතුවීමයි. රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයේ සිටින තුරු කවදාවත් පක්ෂය ගොඩගත නොහැකි යැයි හිටපු අමාත්‍ය එස්.බී.දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


4 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now