පළමු 20-20 තරගයේ ජය නවසීලන්තයට, මාලිංග වැඩිම කඩුලු ලාභියා ලෙස ලෝක වාර්තා පොතට.

 New Zealand tour of Sri Lanka

Source: Facebook

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (01/09) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවති පළමු 20-20 තරගයෙන් කඩුලු 5 ක් ජයක් අත්කරගැනීමට නවසීලන්තය සමත් විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 කට ලකුණු 174 ක් ලබාගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

එහිදී හයේ පහරවල් 2ක් සහ හතරේ පහරවල් 8 ක් සමග පන්දු 53 කදී ලකුණු 79 ක් ලබාගැනීමට ආරම්භක පිතිකරුවෙකු ලෙස පැමිණි කුසල් මෙන්ඩිස් සමත් විය.

මේ අතර ඉසුරු උදාන, ශ්‍රී ලංකා ඉනිමේ අවසාන පන්දු 3 දී හයේ පහරවල් 2ක් සමග ලකුණු 15 ක් ලබාගනිමින් ශ්‍රී ලංකාවේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 174ක් දක්වා ඉහළ දැමුවේය.

ජයග්‍රාහී ලකුණු 175 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නවසීලන්තයේ පළමු කඩුල්ල පළමු පන්දුවාරයේ හතරවැනි පන්දුවේදී දවාගැනීමට ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග සමත් විය.

ලකුණු 39 කට කඩුලු 3 ක් බිඳ වැටී සිටි නවසීලන්ත ඉනිම අනතුරුව Colin de Grandhomme සහ Ross Taylor විසින් ගොඩනගන්නට විය.

වේගවත් ලෙස ලකුණු ලබාගත් ඔවුන් දෙදෙනා නවසීලන්තය ජයග්‍රාහී සීමාවට ගෙන යන ලදී.

කෙසේනමුත් අවසාන පන්දු වාර 3 දී ලකුණු 30 ක් ලබාගැනීමට තිබුණු අතර ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ පීඩනය මත නවසීලන්තය ජයග්‍රාහී ලකුණ ලබාගත්තේ 20 වන පන්දු වාරයේ තුන්වන පන්දුවේදීය.

මෙහිදී ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග 20-20 ලෝක වාර්තාවක් තබන්නටද සමත් විය.

මෙම තරගයේදී ලබාගත් කඩුලු 2ත් සමග සම්පූර්ණ කඩුලු 99 ක් දවාගනිමින් ලසිත් මාලිංග 20-20 තරග රටාවේ ලොව වැඩිම කඩුලු ලාභියා බවට පත් විය.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ පාකිස්තානයේ සහීඩ් අෆ්රිඩී වන අතර ඔහු 20-20 තරග වලදී කඩුලු 98 ක් ලබාගෙන තිබේ.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවැනි 20-20 තරගය ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් හෙට රාත්‍රී 11.30 ට මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ආරම්භ වේ.


2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now