මහනුවර කසළ කන්ද හරිත භූමියක් බවට පත් කිරීමට පියවර.

Environmentally Friendly Katugasthota Teakawatte garbage Dump

Source: SBS Sinhala

ශ්‍රී ලංකාවේ මහනුවර නගරයෙන්  එක්වන කැළිකසළ බැහැර කරන තේක්කවත්ත කුණු කන්ද හරිත භූමියක් බවට පත් කිරීමට මහනුවර මහ නගර සභාව සැලසුම් කර ඇත.

මහනුවර නගරයෙන් බැහැර කරන සියලුම කැලි කසළ වර්ෂ 1969 සිට ගොහාගොඩ පිහිටි තේක්කවත්ත ප්‍රදේශයට බැහැර කරන අතර මේ වන විට දිනකට කසල ටොන් 200ත් 300 ත් අතර ප්‍රමාණයක් මෙම ස්ථානයට බැහැර කිරීම සිදු කරයි.

කොළඹ, මීතොටමුල්ල කුණු කන්දට පමණක් දෙවන වන මෙම කසළ කන්ද හේතුවෙන් ගොහාගොඩ පමණක් නොව කටුගස්තොට, පොල්වත්ත, වේගිරිය, මාවිල්මඩ, මාපනාවතුර, වට්ටාරන්තැන්න, අනිවත්ත ඇතුළු ප්‍රදේශ ගණනාවක ජනතාවට දුර්ගන්ධය ඇතුළු පාරිසරික තර්ජන රැසකට මුහුණ පාන්නට සිදුවිය.

එමෙන්ම තේක්කවත්ත කැලිකසල කන්දෙන් ගලා යන දැඩි දුගද සහිත අපජලය මහවැලි ගඟට මිශ්‍ර වීම හේතුවෙන් ජලය අපවිත්‍ර වීමේ දැඩි අවධානමක් ද මෙම ප්‍රදේශයේ පැවතිණ.

එම තත්ත්වය පිළිබඳව අවධානය යොමු කළ මහනුවර මහ නගර සභාව මෙම කැලි කසල කන්ද විධිමත් ආකාරයෙන් කළමනාකරණය කිරීමට පියවර ගත් අතර මේ සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළු ආයතන කිහිපයක මගපෙන්වීම ලැබුණි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පසුගියදා මෙම කුණු කන්ද නිරීක්ෂණය කළ අතර එහිදී  ප්‍රියමනාප අයුරින් කැළි කසල සහිත පරිසරය සකස් කරන ලෙස ඒ මහතා අදාළ නිලධාරීන් වෙත දැනුම් දුන්හ.

Environmentally Friendly Katugasthota Teakawatte garbage Dump
Source: SBS Sinhala

මහනුවර පුරපති කේසර සේනානායක මහතා විසින් මෙම කලාපය හරිත කලාපයක් බවට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහනුවර නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් මහතා ඇතුලු අදාල නිලධාරීන්  වෙත දැනුම් දී තිබේ.

ඒ අනුව කඩිනම් ව්‍යාපෘතියක් ලෙස කසල කන්ද නිසි අයුරින් කළමනාකරණය කිරීමට පියවර ගත් බවත් කැලිකසල කන්දෙන් මේ වන විට කිසිදු දුර්ගන්ධයක් නොහමන බවත් නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේය.

ස්ථාවර තත්ත්වයට පත්කර ඇති කුණු කන්දේ ඇතැම් ප්‍රදේශවල මේවන විට පිඩලි අල්ලා මල් වර්ග වගා කිරීමට පියවර ගෙන තිබේ.

කුණු කන්දෙන් බැහැරවන අපජලය ජල පිරිපහදු කරන ප්‍රධාන ජල තටාංගන දෙකකට යොමු කර ඉන් පිටවන ජලය කුඩා ප්‍රමාණයේ පොකුණකට යවා  ස්වභාවික අයුරින් පිරිපහදු කිරීමෙන් පසු යළි භූගත ටැංකි කිහිපයක් රට යොමු කර අනතුරුව වඩාත් පිරිසිදු වූ ජලය මුදා හැරීමට කටයුතු කරන බව නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේය.

ඉතාමත්ම පරිසර හිතකාමී තත්ත්වයට පත්ව ඇති ගොහාගොඩ කුණු කන්ද කුණු කන්දේ ස්ථාවර කර ඇති කොටසේ මෙම වර්ෂයේදී අලුත් අවුරුදු උත්සවයක් පැවැත්වීමට සැලසුම් කරන බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


2 min read

Published

By Madhura Seneviratne

Presented by Nadeeka Daya Bandara - Sri Lanka



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now