SKIP TO MAIN CONTENT

ආණ්ඩුවේ ඉඳන් චන්දය ප්‍රමාද කරන්නේ කවුරුන්දැයි මන්ත්‍රී ජී.එල්.පීරිස් හෙළිකරයි

G.L Peris_ Sri Lankan parliamentarian
G.L Peris_ Sri Lankan parliamentarian Source: SBS Sinhala

2 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

මැතිවරණ කල් දමමින් ඡන්ද බලය කොල්ලකන ආණ්ඩුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් සර්ව ජන ඡන්ද බලය රැකීම සඳහා මැදිහත්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කරයි.

පළාත් පාලන මැතිවරණය වසර දෙක හමාරක් ප්‍රමාද කළ ආණ්ඩුව මේ වන විට ඇතැම් පළාත් සභාවල මැතිවරණය මාස දහයකින් ප්‍රමාද කර ඇති බවත් ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව සැලසුම් කරන බව අස්ගිරිය මහ විහාරයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් සමග පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කීවේය.

ජනතාවට තමන් අප්‍රසන්න වි ඇතැයි දන්නා ආණ්ඩුව ඒ නිසා සිදුකරන්නේ ඡන්ද කල් දැමීම යැයි කී ඒ මහතා මැතිවරණ ජය ලැබිය නොහැකි බව ඔවුන් හොදින් දන්නා බව ද කීවේය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පාලන සමයේදී උතුරු මැතිවරණය පරාද වන බව දන්නා නමුත් නියමිත කාලයටත් වඩා කලින් මැතිවරණ පවත්වා ජනතා ඡන්ද අයිතිය සුරක්ෂිත කිරිමට කටයුතු කළ බව කී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා මෙසේ ද කීවේය.

".....දිනන්න හෝ පරදින්න හෝ ඡන්දය පැවැත්විය යුතුයි. ඡන්දය ප්‍රමාද කිරීම සිදුකරන්නේ අගමැතිවරයා, කථානායකවරයා සහ විපක්ෂනායකයායි. මේ තිදෙනා එක්වී ජනතාවගේ ඡන්ද බලය කොල්ලකන්න උත්සහ කරනවා.

කවුරුන්ගේ හෝ පිහිටක් නොමැති ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරිමේ වගකීම පැවරෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයටයි. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ නව සැසිවාරය ආරම්භවූ වහාම සර්වජන ඡන්ද බල අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා.

මේ තරමටම මැතිවරණ නොපවත්වන රජයක් ඉතිහාසයේ නැහැ. ජනතාවට තමන් එපාවී ඇතැයි රජය දන්නවා. මැතිවරණ කල් දැමීම, අධික බදු බර ආදිය නිසා ජනතාව ජීවත්වන්නේ මහත් පීඩනයකින්. නමුත් එවැනි දෑ අමතක කිරීම සඳහා මැති ඇමතිවරුන්ගේ වැටුප් ඉහළ නැංවීම වැනි මාතෘකා කරළියට ගෙන ඒමට රජය උත්සහ කරනවා ..." යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කළේය.

 

** තොරතුරු වාර්තාකරණය - නදීක දයා බණ්ඩාර - SBS සිංහල වැඩසටහනේ ශ්‍රී ලංකා වාර්තාකරු 

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now