ආණ්ඩුවේ සිටින විට මහජන නියෝජිතයන්ට ජනතා ගැටළු තේරෙන්නේ නැහැ : අස්ගිරි හිමියෝ ශ්‍රී.ල.නි.ප. 16 කල්ලියට කියයි.

SLFP Former 16 Ministers Visited Asgiri Maha Viharaya.

Source: SBS Sinhala

ආණ්ඩුවේ සිට ජනතාව වෙනුවෙන් කළ නොහැකි වූ මහජන මෙහෙවර ඉටු කිරීම සදහා විපක්ෂයේ සිට හෝ ක්‍රියාකිරීමට තීරණය කිරීම වඩා උචිත යැයි අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ ප්‍රකාශ කළේය.

රට ජාතිය ආගම රැක ගැනීම සදහා උත්සුකවූ කණ්ඩායමක් සිය අපේක්ෂාව ඉටු කර ගත නොහැකි වූ විට ආණ්ඩුවෙන් ඉවත්ව වෙනම කණ්ඩායමක් ලෙස පෙනී සිට ජනතාව වෙනුවෙන් ක්‍රියාකරන්නේ නම් එය උතුම් කාර්යයක් යැයි ද උන්වහන්සේ ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ආණ්ඩුවේ අමාත්‍යධූර දරමින් සිට ඉල්ලා අස්වූ දහසය දෙනාගෙන් පහළොස්දෙනෙකු ඊයේ (02/05) අස්ගිරි මංගල උපෝසථාගාරයේදී අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමිපාණන් වහන්සේ අනුනායක හිමිවරුන් හා කාරක සංඝසභික හිමිවරුන් බැහැ දැක තමන් ගත් තීරණය පිළිබදව උන්වහන්සේ දැනුවත් කළහ.

SLFP Former 16 Ministers Visited Asgiri Maha Viharaya.
Source: SBS Sinhala

මංගල උපෝසථාගාරයට රැස්ව මහා නායක හිමියන් වැද නමස්කාර කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිත කණ්ඩායම වෙනුවෙන් අදහස් දැක්වූ එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති හිටපු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා අදහස් පළ කළේය.

ඔවුන් ඉදිරිපත් කළ කරුණු සාවධානව අසාසිටි අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියෝ මෙසේ සදහන් කළහ.

පාර්ලිමේන්තුව තුළදීත් රටේ පාලනය තුළදීත් සිදුවූ කරදර පීඩා ආදිය නිසා ඔබ කණ්ඩායම ඉවත්වූ බව අද රටම දන්නා කාරණයක්. ජනතා හිතවාදී වැඩපිළිවෙලක් ගෙන ඒම සදහා ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ සිට ක්‍රියාකිරීම පිළිබදව අපි සතුටට පත් වෙනවා.

ජනතාවගේ ගැටලු පිළිබදව ඔබතුමාලා නොයෙක් අවස්ථාවල අදහස් පළ කර ක්‍රියාත්මක වුවත් එහි ප්‍රතිඵලයක් දක්නට ලැබුණේ නැහැ. නමුත් ඔබ විපක්ෂය කරා යාම තුළින් ආණ්ඩුවට යම් පාඩමක් ඉගැන්වූ බව දැකිය හැකියි. ආණ්ඩුව ක්‍රියාත්මක කරන වැඩපිළීවෙල  හා රටේ වත්මන් ගැටලු නිසා ජනතාවට යම් සාධාරණ පිළිතුරක් මේ වන විට ලබාදීමට ඔබට හැකියාව තිබෙනවා. ඔබ ගත් තීන්දුව පිළිබදව මහා සංඝරත්නයේ ප්‍රසාදය පළ වෙනවා. ජනතාව ද සිය ප්‍රසාදය පළ කරනවා.

විපක්ෂයේ සිට හෝ ජනතාව වෙනුවෙන් යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරයි කියා අප අපේක්ෂා කරනවා. ඒ විශ්වාසය අප තුළ මෙන්ම රටේ බහුතර ජනතාව තුළ පවතින බව අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අස්ගිරි පාර්ශවයේ අනුනායක, පොළොන්නරුව අටමස්ථානාධිපති පූජ්‍ය වේඩරුවේ උපාලි හිමියන් අදහස් දක්වමින්,

ආණ්ඩුවේ සිටින විට මහජන නියෝජිතයන්ට පොදු ජනතාවගේ සිතුම් පැතුම් නොතේරෙන තත්ත්වයක් පවතින බවයි හැගෙන්නේ. රූපවාහිනිය දෙස බලන විට රටක් තිබෙන බව පෙනුණත් පාරට බැස මිනිසුන් හා කථා කරන විට රටක් තබා රටට හෙටක් ද නොමැති බවයි දැකිය හැක්කේ. අද රට ගමන් කරන්නේ කුමන ඉසව්වකට ද යන ගැටලුව මතු වෙනවා. රටේ ආර්ථිකය පමණක් නොව සියලු අංශ අද කඩා වැටිලා.

රාජ්‍ය නිලධාරීන් පවා අද වැඩ කරන බවක් දැකිය හොහැකියි. ඔවුන්ට වැඩ කිරීමට හැකි දර්ශනයක්, ස්ථාවරත්වයක් හා පැහැදිලි ගමන් මගක් රටේ නැහැ. රජය පැත්තෙන් යෝජනා විය යුතු ධර්මිෂ්ඨ පාලනයක්, සැබෑ වෙනසක් හා ලිච්ඡවී පාලනයක් මේ අණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්න බැහැ.

මේ අවස්ථාවේදී ඔබ ගත් තීරණය අප අගය කරනවා. දේශපාලඥයන් ලෙස රටේ ඉදිරි ගමන් මග පිළිබදව සොයා බැලීමක් කළ යුතුයි. මේ රට තුළ දේශපාලඥයන් කොතරම් ප්‍රමාණයක් විවිධාකාරයෙන් පාලනයට සහභාගීවුවත් ඔවුන් මිය ගිය විට නොමැරී සිටින්නේ ඉතාම අල්ප ප්‍රමාණයක් පමණයි. අද මහජන නියෝජිතයන් ගේ පිළිරූ සකස් කර ඔවුන් වෙනුවෙන් පුෂ්පෝපහාර දක්වන්නේ ඔවුන් කළ සදානුස්මරණීය සේවය නිසයි.

ඔබ ද එවැනි තත්ත්වයට පත් විය යුතුයි. රට ජාතිය ආගම වෙනුවෙන් නොමැකෙන සේවයක් කරන්නේ නම් ඔබ මෙලොව හැර ගියත් ජනතාව ඔබ අමතක නොකර ඔබ වෙනුවෙන් පූජාසනයක් පවත්වන්න අමතක කරන්නේ නැහැ. මිනිසෙකුට හිමිවන උතුම් ධනය වන්නේ මිල මුදල් නොවෙයි. සිතේ සතුටයි. සතුට ඇති කර ගැනීම සදහා සුදුසු වැඩපිළිවෙලක් රට තුළ ඔබ ක්‍රියාත්මක කළ යුතුයි.

උතුම් දේශපාලනයේදී නිවරැදි ගමනක් කරා යාමට නම් හෘද සාක්ෂියට එකගව ක්‍රියා කළ යුතුයි. තාන්න මාන්න මිල මුදල් පසු පස නොයා ජනතාව තෘප්තිමත් කළ හැකි සේවයක් ඉටු කිරීම වඩා වැදගත් වන බව අස්ගිරි පාර්ශවයේ අනුනායක වේඩරුවේ උපාලි හිමිවන් ප්‍රකාශ කළේය.


3 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now