ශ්‍රී දළදා වහන්සේ ගේ තේවාව භාර රාජකාරියේ ඔබ නොදත් කතාව.

Sri Dalada Maligawa Dalada Thewawa handed over to Malwathu Chapter.

Source: Flickr

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වෙත දිනපතා කරන තේවාව භාර රාජකාරිය අස්ගිරි පාර්ශවයේ සිට මල්වතු පාර්ශවය වෙත භාර දීම ඊයේ  (17) පස්වරුවේ ශ්‍රී දළදා මාලිගාවේදී සිදුවිය.

තේවාව භාර රාජකාරිය එක් වර්ෂයක් මල්වතු පාර්ශවයටත් අනෙක් වර්ෂයේදී එය අස්ගිරි පාර්ශවයටත් පැවරෙන අතර දෙපාර්ශවයන් අතර සාම්ප්‍රදායික රාජකාරී මාරුවීම සෑම වර්ෂයකම ඇසළ පුර පසළොස්වක පෝය දිනට පසු දින සිදු කෙරේ.

ඒ අනුව ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍ය සහ ඊට අනුබද්ධ තේවා රාජකාරී මෙම වර්ෂයේ පැවරෙනුයේ සියම් මහ නිකායේ මල්වතු මහ විහාර පාර්ශවයටය.

හෙළ රජ දවස සිංහළ රජු වෙත කරන ලද පුද සත්කාර හා සමාන ගෞරවාන්විත සේවාවක් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වෙත සිදු කරන අතර ආනන්ද හිමියන් විසින් තිලෝගුරු බුදුරජාණන් වහන්සේට සිදුකළ උපස්ථාන හා සමාන රාජකාරීයක් වත්මන් ශ්‍රී දළදා භාර හිමිපාණන් වහන්සේ විසින් දන්ත ධාතූන් වහන්සේ වෙත සිදුකරති.

අලුයම පහ පසුවී මිනිත්තු තිහ, පෙරවරු නමය පසුවී මිනිත්තු තිහ සහ පස්වරු හය පසුවී මිනිත්තු තිහ යන වේලාවන්හීදී ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වෙත තේවා කටයුතු සිදු කෙරේ.

සාම්ප්‍රදායික තේවා භාර රාජකාරිය අනෙක් පාර්ශවය වෙත භාර දීමේදී සියම් මහ නිකායේ මල්වතු හා අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමිපාණන් වහන්සේ දෙනම ද ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා ද සහභාගී වේ. 

ඉහළ මාලයේත්, පල්ලේ මාලයේත්, පත්තිරිප්පුවත්  භාර හිමිපාණන් වහන්සේලා වැඩසිටින ස්ථානවල පවතින භාණ්ඩ ලේඛන ශ‍්‍රී‍්‍ර දළදාමාලිගාවේ ලේකම් මොහොට්ටාල විසින් එකින් එක කියවා පෙන්වා භාණ්ඩභාරදීම සිදුකෙරේ. අනතුරුව එම ලේඛන අතිගරු මහානායක ස්වාමීන්දුයන් වහන්සේලා දෙනම හා දියවඩන නිලමේතුමා අත්සන් තබා කෙටි අනුශාසනාවක් පවත්වා අදාල යතුරු භාරගැනීම හා භාර දීම සිදුකෙරේ.

ශ්‍රී දන්තධාතූන් වහන්සේ වත දෛනික තේවාභාර රාජකාරී සිදුකිරීම භික්ෂු ජීවිතයේදී හිමිවන දුර්ලභ හා භාග්‍ය සම්පන්න අවස්ථාවක් ලෙස සම්භාවනාවට පත්වේ. ශ්‍රී දන්තධාතූන් වහන්සේ වෙත තේවාවන් සිදුකිරීමේදී උඩමාලයට හා පල්ලේමාලය භාර හිමිවරුන් දෙනමක් ද පත් කර ගන්නා අතර වර්තමානයේදී පත්තිරිප්පුව භාර හිමිනමක් ද පත් කර ගනිති.

Sri Dalada Maligawa Dalada Thewawa handed over to Malwathu Chapter.
Source: Flickr

වර්ෂයකට වරක් සිදුවන තේවා භාරදීමේ අවස්ථාව සඳහා මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ, අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ, මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි, අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමියන්, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ද සහභාගී වූහ.

තේවාව භාර රාජකාරීය  මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභික  පූජ්‍ය තිබ්බටුවාවේ මේධංකර හිමියන් වෙත පැවරෙන අතර  දළුක්ගොල්ල රජමහ විහාරාධිපති පූජ්‍ය ඇටිපොල බුද්ධරක්ඛිත  හිමියන් පල්ලේමාලේ රාජකාරියෙහි නිරත වෙති.


2 min read

Published

By Madhura Seneviratne

Presented by Nadeeka Daya Bandara - Sri Lanka

Source: SBS Sinhala


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now