SKIP TO MAIN CONTENT

ලංකාවේ නියඟය නිසා දිස්ත්‍රික්ක 6 ක පුද්ගලයින් ලක්ෂ 3 කට පීඩා.

Drought Situation – Sri Lanka
Source: SBS Sinhala

2 min read

Published

Updated

By Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

පවතින වැසි රහිත වියළි කාලගුණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක හයක පුද්ගලයන් දෙලක්ෂ අනූපන්දහසක් පමණ පීඩාවට පත්ව සිටියි.

මාස කිහිපයකින් ප්‍රමාණවත් වර්ෂාවක් ඇද නොහැලුණු අතර මේ හේතුවෙන් පුත්තලම, කුරුණෑගල, මහනුවර, අනුරාධපුර, පොළොන්නරුව හා මන්නාරම දිස්ත්‍රිකවල පවුල්      92 000ක් අසීරුතාවට පත්ව සිටිති.

වියළි කාලගුණය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රිකයේ පවුල් 66,436ක සාමාජික සාමාජිකාවන් දෙලක්ෂ දහසය දහස් එකසිය අසූනම දෙනෙකු ( 2 16, 189) පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

කුරුණෑගල දිස්ත්‍රිකයේ පවුල් 17 194ක්, අනුරාධපුර දිස්ත්‍රිකයේ පවුල් 3189ක් ද මන්නාරම පවුල් 4789ක් නියං තත්ත්වය නිසා පීඩාවට පත්ව සිටිති. පොළොන්නරුව දිස්ත්‍රිකයේ පවුල් 250ක් හා මහනුවර දිස්ත්‍රිකයේ පවුල් 150ක් වියළි කාලගුණ බලපෑම නිසා පීඩාවට පත්ව ඇත.

වියළි කාලගුණ තත්ත්වය සමග ලවණ මුසු මුහුදු ජලය කළුගගට මුසුවී ඇති බැවින් එම ජලය පානයට නුසුදුසු බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කරයි. උතුරු කළුතර, දකුණු කළුතර, වස්කඩුව, වාද්දූව, නාගොඩ, බෝම්බූවල, පයාගල, මග්ගොන, බේරුවල, අලුත්ගම, බෙන්තර හා දර්ගා නගරය වෙත බෙදා හැරෙන ජලයේ මුහුදු ජලය මිශ්‍ර වී ඇති බැවින් එම ජලය පානය කිරීමට යොදා නොගන්නා ලෙස ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙයි.

වියළි කාලගුණය හේතුවෙන් විදුලි බලාගාර ආශ්‍රිත මධ්‍යම කදුකරයේ ප්‍රධාන ජලාශවල ජල මට්ටම් ද සැලකිය යුතු අයුරින් පහත බැස තිබේ. රන්ටැඹේ ජලාශය සිය සක්‍රීය ජල ධාරිතාවයෙන් සියයට 3.5 දක්වා පහළ බැස ඇත. කොත්මලේ ජලාශයේ පවතින සක්‍රීය ජල ධාරිතාව සමස්ථ ජල ධාරිතාවයෙන් 29%කි. වික්ටෝරියා ජලාශය 73%ක් ද රන්දෙණිගල ජලාශය 47%ක් බෝවතැන්න 36%ක් හා මොරගහකන්ද 78%ක ජල ධාරිතාවයෙන් යුක්ත යැයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සදහන් කරයි.

දිවයිනේ දැනට පවතින කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් අද (24/02) දින අපේක්ෂා කළ හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඒ අනුව නැගෙනහිර හා ඌව පළාත්වලත් පොළොන්නරුව හා හම්බන්තොට දිස්ත්‍රිකවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි යැයි එම දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රිකවලත් පස්වරු දෙකෙන් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන් ය.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now