SKIP TO MAIN CONTENT

නිදහස් කුසලාන තරගාවලිය : දික්වැල්ල එළියට, කුසල් ඇතුළට.

Nidahas Trophy 2018
Source: SBS

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාවේ 70 වන නිදහස සැමරීම සංකේතවත් කිරීම උදෙසා එළඹෙන මාර්තු 06 වන දින ශ්‍රී ලංකාවේදී ආරම්භ වීමට නියමිත නිදහස් කුසලාන තුන්කොන් 20-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා පිළේ අවසන් ක්‍රීඩකයන් 15 දෙනාගේ සංචිතයට කුසල් පෙරේරා ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

නමුත් ඔහුගේ ආගමනයත් සමග පසුගිය තරගාවලි කිහිපයේදීම ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස කටයුතු කළ නිරෝෂන් දික්වැල්ලට නිදහස් කුසලාන තරගාවලියේදී සිය ස්ථානය අහිමිවී තිබේ.

බංග්ලාදේශය සහ සිම්බාබ්වේ සමග පැවැති තුන්කොන් ක්‍රිකට් තරගාවලිය අතරතුර ඇලපතේ මස් පිඬුවක ඇදීමකින් පීඩා විඳීම නිසා කුසල්ට එම තරගාවලියෙන් ඉවත් වීමට සිදුවූ අතර ඒ හේතුවෙන් ඔහුට බංග්ලාදේශයට එරෙහිව පැවැති 20-20 තරගාවලියද අහිමි විය.

තුන්කොන් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති දෙවැනි එක්දින තරගය අතරතුර පන්දුවට පහරදීමේදී කුසල් එම ආබාධ තත්ත්වයට ලක් විය.

ඒ වන විට එම තරගාවලියේදී සහභාගි වූ තරග 3 කදී අර්ධ ශතකයක්ද සමගින් ලකුණු 130 ක් රැස්කිරීමට ඔහු සමත්ව සිටියේය.

මේ අතර පාදයේ ආබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගාවලියටද සහභාගි නොවන බැවින් බංග්ලාදේශයට එරෙහිව පැවැති 20-202 තරගාවලිය 2-0 ක ජයග්‍රහණයක් කරා මෙහෙයවූ දිනේෂ් චන්දිමාල් නිදහස් කුසලාන තරගාවලියේදීද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකා සංචිතය

දිනේෂ් චන්දිමාල් (නායක), සුරංග ලක්මාල් (උප නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දසුන් ශානක, කුසල් පෙරේරා, තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස්, ඉසුරු උදාන, අකිල ධනංජය, අමිල අපොන්සු, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර සහ ධනංජය ද සිල්වා


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now