SKIP TO MAIN CONTENT

ලංකාවෙන් මුළුමනින්ම මත්ද්‍රව්‍ය හා මත්පැන් තුරන් කළ යුතුයි : මල්වතු මහා නායක හිමි.

All drugs and liquor must remove from Sri Lanka : Malwathu thero.
Source: SBS Sinhala

2 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

සියලුම මත්ද්‍රව්‍ය ජනතාව අතරෙන් තුරන් කිරීම වඩා සුදුසු යැයි මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ පැවසූහ.

ඇතැම් මත් පැන්වල මිල අඩු හෝ වැඩි කිරීමක් නොව සියලුම මත්පැන් තුරන් කිරීම සුදුසු බව මත්ද්‍රව්‍ය පිළිබදව මල්වතු  මහා විහාරයේ දී පැවැති හමුවකදී උන්වහන්සේ සදහන් කළහ.

බියර් මිල අඩු කිරීම හේතුවෙන් සිදුවන ව්‍යසනය පිළිබදව දැනුවත් කිරීම සදහා ජාතික සංඝ සම්මේලනය, ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකය සහ මත්ද්‍රව්‍ය හා මධ්‍යසාර තොරතුරු ඒකකයේ නියෝජිතයන් පිරිසක් මල්වතු මහා විහාරයේදී මහා නායක හිමියන් බැහැ දැක උන්වහන්සේ දැනුවත් කළහ.

ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා හා මුදල් අමාත්‍යවරයා එක්ව සාකච්ඡා කොට මත්පැන් හා මධ්‍යසාර භාවිතය ශ්‍රී ලංකාව තුළ පාලනය කළ හැකි යැයි මහා නායක හිමියන් මෙම නියෝජිතයන් හමුවේ ප්‍රකාශ කළහ.

ජාතික සංඝ සම්මේලනයේ සභාපති පූජ්‍ය ලියන්වල ශාසනරතන හිමියන්  අදහස් දක්වමින්, අරක්කු මිල ඉහළ දමා බියර් මිල පහළ දැමීම නිසා මත්ද්‍රව්‍ය භාවිතයේ කිසිදු පාලනයක් සිදු නොවන බව කීවේය. මේ හේතුවෙන් රුපියල් සියයක් වැනි මුදලකට බියර් ලබා ගත හැකි බවත් ඒවා අලෙවි කිරීම සදහා බලපත්‍ර විශාල ප්‍රමාණයක් ලබා දෙන බව ද උන්වහන්සේ සදහන් කළහ.

මේ හේතුවෙන් පාසල් දරුවන් පවා මත්පැන්වලට ප්‍රවේශවීමේ මාර්ගයක් නිර්මාණය වන බව මහා නායක හිමියන් හමුවේ උන්වහන්සේ  කියා සිටියේය.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශයන් සදහා ඇහුම්කන් දීම ආණ්ඩුව විසින් සිදුකළ යුතු බවත් නොඑසේනම් ආණ්ඩුවේ ගමන සැක සහිත යැයි කී ජාතික සංඝ සම්මේලනයේ සභාපති හිමියන්, අමාත්‍යවරුන් ද විවිධ තීරණ හමුවේ ජනතාව වෙනුවෙන් නම්‍යශ්‍රීලී විය යුතු යැයි කියා සිටියේය.

මෙම හමුව සදහා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකය ලේකම් පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගල හිමි,  මත්ද්‍රව්‍ය හා මධ්‍යසාර තොරතුරු ඒකකයේ නියෝජිත අජිත් නවගමුව මහතා ඇතුලු පිරිසක් එක්විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now