සිය ආර්ථික ප්‍රතිපත්තිය පැහැදිලිව ප්‍රකාශ නොකරන පක්ෂයක් සමග දේශපාලන වශයෙන් ගනුදෙනු කිරීම අනාගතයේදී ගැටලු සහිත වන බව විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබද අමාත්‍ය සරත් අමුණුගම මහතා ප්‍රකාශ කළේය.
රට පාලනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය මෙන්ම පොහොට්ටුව හෝ මේ දක්වා සිය ආර්ථික ප්‍රතිපත්තිය කුමක්දැයි පැහැදිලිව ප්‍රකාශ කර නොමැති නමුත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ සියලු පක්ෂ අභිභවා රටට උචිත පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියක් මෑතකදී ඉදිරිපත් කර ඇතැයි අමාත්‍යවරයා සදහන් කළේය.
කන්ද උඩරට උරුමයන් පිළිබද අමාත්‍යංශයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් දැනුවත් කිරීම සදහා එම මහා විහාරයට පැමිණි අමාත්‍යවරයා උන්වහන්සේ සමග පැවැති හමුවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ මේ බව ප්‍රකාශ කළේය.
වියත් මග නමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කළ දේශනය ලංකා ඉතිහාසයේ ඉතා වැදගත් දේශනයක් බවට පත්වූ බව කී අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය.
"නූතන ලෝකයට ගැලපෙන නව ආර්ථික දර්ශනයක් එතුමා ඉදිරිපත් කර තිබෙනවා. ඒක පරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේවත්, පොහොට්ටුවේ දර්ශනයවත් නොවෙයි.කුමන දේශපාලන පක්ෂයක් වුවත් මෙතෙක් කල් කළේ ක්‍රියාත්මක කරන්න බැරි වැරදි ආර්ථික ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීමයි. අරවා දෙනවා, මේවා දෙනවා කියමින් බොරුවට මිනිසුන්ගේ ඔළු අතගානවා.දුක්පතා වෙනුවෙන් ඒවා කළා, මේවා කළා, පාලම් මහා මාර්ග හැදුවා කීවාට වැඩක් නැහැ. බොරු ආර්ථික විද්‍යාවලින් රටට සේවයක් වෙන්නේ නැහැ. ඒවා සංවර්ධනයට උචිත ප්‍රතිපත්ති නොවෙයි.
ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ පරිදි බුද්ධිය මුල් කර ගත් නව ආර්ථිකයක් කරා ගමන් කළ යුතුයි. මම එතුමාගේ ප්‍රතිපත්තියට එකගයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජාතික පක්ෂයට ඔවුන්ගේ ආර්ථික පිළිවෙතක්, දර්ශනයක් නැහැ. සිය ආර්ථික දර්ශනය කුමක්ද කියා කිසිම පක්ෂයක් මේ දක්වා ප්‍රකාශ කර නැහැ. වර්තමානයට උචිත ආර්ථික ක්‍රමයක් සදහා පක්ෂ එකතුවෙනවා නම් එය සුදුසුයි. පක්ෂයක දේශපාලන, ජාත්‍යන්තර ප්‍රතිපත්ති, ආර්ථික, දේශීය සංස්කෘතිය පිළිබද ප්‍රතිපත්ති ආදිය පිළිබදව දැනුවත් නොවී පක්ෂයේ නායකයා කවුද? ඊළග නායකයා කවුද යැයි සොයමින් කල්ගත කිරීම අවශ්‍ය නොවන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
කන්ද උඩරට උරුමය පිළිබද අමාත්‍යංශය මගින් මහනුවර දිස්ත්‍රිකයේ පිහිටි ඓතිහාසික වැදගත්කමින් යුතු පුරාණ විහාරස්ථාන, බිතුසිතුවම්, අම්බලම් ආදිය කඩිනමින් ප්‍රතිසංස්කරණය කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

