අපිම හදාගත්තු ව්‍යවස්ථාව නිසා ඉදිරි මැතිවරණ වලදී කාටවත් තනි ආණ්ඩු හදන්න බැහැ : ශ්‍රීලනිප උපසභාපති කියයි (වීඩියෝ සහිතයි)

Minister Nimal Siripalada Silva_ Sri Lanka

Minister Nimal Siripalada Silva_ Sri Lanka Source: SBS Sinhala

දෙපෝයකින් ආණ්ඩු පෙරළන බව ඇතමුන් ප්‍රකාශ කළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව වසර හතරහමාරක් ගත වන තුරු මේ ආණ්ඩුවට කිසිදු බලපෑමක් කළ නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

විශ්වාසභංගයෙන් අගමැතිවරයා ඉවත් කළත් මේ පාර්ලිමේන්තුවෙන්ම අයෙකු පත් කරගෙන අච්චාරු ආණ්ඩුවක් ඉදිරියට ගෙන යනු මිස පවතින ආණ්ඩුව පෙරලීමට කිසිදු නීතිමය හැකියාවක් නොමැති බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙංකඩගල ආසන බල මණ්ඩල රැස්වීමට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

බොහෝ අයට මෙම දේශපාලන යථාර්ථය අවබෝධවී නොමැති නිසා විවිධ ප්‍රකාශ කරමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

තනි පක්ෂයකට බහුතර බලයක් ලබා ගත නොහැකි වූ නිසා පක්ෂ කිහිපයක එකතුවෙන් සභාග ආණ්ඩුවක් පිහිටවූ බවත් ඉදිරියේදීත් මෙවැනි ආණ්ඩු පිහිටුවීමට සිදුවනු ඇතැයි කී අමාත්‍යවරයා තවදුරත් මෙසේ පවසා සිටියේය.

"....ඉදිරි මැතිවරණ වලදී ද අපි කාටවත් තනි ආණ්ඩු හදා ගන්න බැහැ. ඒක තමයි අපි හදාගත්තු ව්‍යවස්ථාව. ඒ නිසා කැමති වුවත් අකමැතිවුවත් යළිත් පක්ෂ දෙක තුනක් එක් කොට ආණ්ඩු හදා ගන්න වෙනවා. එක්සත් ජාතික පක්ෂ විරෝධීයි කියා අපිට හැමදාම එළියේ ඉන්න බැහැ. පක්ෂයක් ලෙස තනි බලයක් ලබා ගත හැකි නම් වඩා හොදයි. සියලු පක්ෂ උත්සහ කරන්නේ ඒ අයුරින් බලය ලබා ගන්න.

ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ද එක පක්ෂයකට තනි බලයක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. ඒ නිසා පක්ෂ කිහිපයක එකතුවක් මත බලය ලබා ගැනීමට සිදුවෙනවා. දේශපාලන යථාර්ථය හා පවතින මැතිවරණ ක්‍රමය තේරුම් ගත යුතුයි.

දේශපාලනික වශයෙන් යම් යම් පසුබෑම්වලට පත්වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සෑම විටම හිස ඔසවපු පක්ෂයක්. පක්ෂය රැක ගැනීම සදහා අපි කටයුතු කළයුතුයි. ප්‍රමාණත්මක වශයෙන් පිරිස අඩු වුවත් පක්ෂයේ රැදුණු පිරිස තමයි පක්ෂයට යම් වටිනාකමක් ලබා දුන්නේ.

අපට අවශ්‍ය පුද්ගලයෙකු වටා ගොඩ නැගුණු දේශපාලනයක් නොව පක්ෂය වටා ගොඩනැගුණු දේශපාලනයයි. පුද්ගලයා සමඟ දේශපාලනය අවසන් වුවත් පක්ෂය සමඟ දේශපාලනය දිගින් දිගටම ඉදිරියට යනවා. අපේ දේශපාලන අනාගතය පිළිබඳ දැන් සිටම අනාවැකි පළ කරන්න බැහැ. මැතිවරණයට තවත් වසර එකහමාරක කාලයක් තිබෙනවා. රටේ පවතින දේශපාලනය දිනින් දින පැයෙන් පැය මෙහොතින් මොහොත වෙනස් වෙනවා. එක රැයකින් මුළු දේශපාලනය වෙනස් විය හැකියි. ඒ නිසා ඉදිරිය පිළිබදව මේ වන විට අනාවැකි පළ කිරීම සාර්ථක නැහැ.

ඉදිරියේදී අපේ දේශපාලන ගමන් මග කුමක් වෙයිද? අපි ජනාධිපතිවරණයට මුහුණ දෙන්නේ කෙසේද? පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දෙන්නේ කෙසේ ද වැනි ප්‍රශ්නවලට මේ දැන් සිට නොව ඒ ඒ අවස්ථාවේදී මුහුණ දිය යුතුයි. ඒ සඳහා ඒ ඒ අවස්ථාවේදී පවතින දේශපාලන ස්ථාවරය සලකා බැලිය යුතුයි...." 

නමුත් ඒ අවස්ථාවට මුහුණදීම සදහා මේ අවස්ථාවේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිම්මට්ටම සූදානම් කර තබන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

SBS සිංහල ගුවන්විදුලියේ වාර්තාකරු නදීක දයා බණ්ඩාර - මහනුවර සිට සැපයූ තිරතුරු ඇසුරිනි.


3 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now

අපිම හදාගත්තු ව්‍යවස්ථාව නිසා ඉදිරි මැතිවරණ වලදී කාටවත් තනි ආණ්ඩු හදන්න බැහැ : ශ්‍රීලනිප උපසභාපති කියයි (වීඩියෝ සහිතයි) | SBS Sinhala