මානව හිමිකම් සුරක්ෂිත කිරීමේදී අයිතීන් රැක ගැනීම මෙන්ම මානව අයිතීන් උල්ලංඝනය වීමේදී හඩ නැගීම ඉතා වැදගත් යැයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලයේ සභාපති ආචාර්ය වින්සන් ප්‍රනාන්දු රදගුරු හිමිපාණන් වහන්සේ පැවසූහ.
දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව මානම හිමිකම් පිළිබදව එක්සත් ජාතීන්ගේ විශ්ව ප්‍රකාශනයට ලොව සියලු රටවල් කිසිදු අකමැත්තකින් තොරව අත්සන් කළ නමුත් රටවල් රැසක් මානව හිමිකම් උල්ලංඝනය කරන බව මානව හිමිකම් දිනය නිමිත්තෙන් ඉකුත්දා (10/12) මහනුවර යහපත් එඩේරාගේ කන්‍යාරාමයේදී පැවැති සැමරුම් උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය.
මහනුවර මානව හිමිකම් කාර්යාලය සංවිධාන කර තිබුණු මෙම උත්සවයේදී මානව හිමිකම් අයිතීන් වෙනුවෙන් ක්‍රියාකාරී දායකත්වය දැක්වූවන් තිදෙනෙකු සම්මානයට පාත්‍ර වූ අතර කුසලතා දැක්වූ පාසල් හා දහම් පාසල් දරු දැරියන් රැසක් වෙත සහතික පත් පිරිනැමීම සිදුවිය.
මානව හිමිකම් උල්ලංඝනය වන ලොව දූෂිතම රටවල් හතරෙන් එකකට ශ්‍රී ලංකාව මේ වන විට පත්වී ඇති බව කණගාටුවෙන් යුතුව ප්‍රකාශ කරන බව කී ආචාර්ය වින්සන් ප්‍රනාන්දු රදගුරු හිමිපාණන් වහන්සේ මෙසේ පැවසූහ.
"ශ්‍රී ලංකාව යුද්ධයකට මුහුණ දුන් රටක්. නමුත් කණගාටුව වන්නේ මේ වන විටත් මානව හිමිකම් උල්ලංඝනයවීම් සිදුවිමයි. නමුත් ගෝලීය වශයෙන් අපට සතුටු විය හැක්කේ මානව හිමිකම් උල්ලංඝනයවීම සම්බන්ධයෙන් අවධියෙන් සිටින ලෝකයක් පැවතීම නිසයි. සෑම රටක්ම මානව හිමිකම් පිළිගැනීම ලෝකයා ලැබූ ජයග්‍රහණයක්. ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණ යන සියලු අංශ මානව හිමිකම්වලින් පාලනය විය යුතුය යන පොදු පිළිගැනීමක් තිබෙනවා. නමුත් යම් ගැටලුවක් වන්නේ සෑම රටක්ම එය ඒ අයුරින් ක්‍රියාත්මක නොකිරීමයි. ශ්‍රී ලංකාවේද සිදුවන්නේ එවැන්නක්."
"ජාතිය, ආගම, වර්ගය, සංස්කෘතිය, උපසංස්කෘතිය, කුලය, ධනය, බලය, දේශපාලනය, අධ්‍යාපන ක්‍රමය, තරාතිරම වැනි විසංවාදී මත හා නොයෙක් බෙදීම් නිසා මානම හිමිකම් උල්ලංඝනය වීමක් දැකිය හැකියි. මෙවැනි බෙදීම් තුළ බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. අපව බෙදා වෙන් කරන සියලු කරුණ මනුෂ්‍යත්වයට බාහිර කරුණු මිස මනුෂ්‍යත්වය තුළ අන්තර්ගත කරුණු නෙමෙයි" යනුවෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලයේ සභාපති ආචාර්ය වින්සන් ප්‍රනාන්දු රදගුරු හිමිපාණන් වහන්සේ වැඩි දුරටත් සදහන් කළේය.

