Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ස්වර්ණ පුස්තක සහ රජත පුස්තක කෘති විමර්ශනය ඇරැඹේ : මෙවර ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ වත්මන් තතු විත්ති "SBS සිංහල" වෙතින්.

ඕස්ට්‍රේලියාවේ වාසය කලත් සිංහල සාහිත්‍ය පොත පත නිර්මාණකරණයේ යෙදෙන, ඒ පිලිබඳ උනන්දුවක් දක්වන අයට මෙවර ලංකාවේ පැවැත්වෙන ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ වත්මන් තතු විත්ති "SBS සිංහල" වෙතින්...

Swarna Pusthaka -
Annual literary award ceremony - Sri Lanka

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ මුලිකත්වයෙන් වසර 2017 සඳහා වන ස්වර්ණ පුස්තක සම්මාන උළෙලට අදාළ කෘති විමර්ශනය අරඹා ඇත. මීට අමතරව මෙවර ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය නව්‍ය කටයුත්තකට ද මුල පුරා ඇත. එනම් 2017 වසරේ සිට හොඳම කාව්‍ය කෘතිය සහ කෙටිකතා කෘතියට ද මුදල් සහ සම්මාන පිරිනැමීම ය.

මෙවර ස්වර්ණ පුස්තක සම්මානය සදහා කෘති 96ක් ද, රජත පුස්තක සම්මානය සදහා කාව්‍ය ග්‍රන්ථ 67ක් සහ කෙටිකතා 47ක් ඉදිරිපත් කර ඇත. මෙම අංශ දෙකට ම අදාළ කෘති තරග විනිශ්චය මණඩල වෙත නිල වශයෙන් ලබා දීම පසුගිය 17 වන දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. තව ද, ස්වර්ණ පුස්තක සම්මානය දිනාගන්නා පළමු කෘතියට මෙතෙක් පිරිනැමූ රුපියල් 5,00000.00 මුදල වෙනුවට මෙවර සිට රුපියල් 7,50,000.00ක් ද, අවසන් වටයට තේරෙන කෘති පහ සඳහා එක් කෘතියකට මෙතෙක් පිරිනැමූ රුපියල් 50,000.00 වෙනුවට ලක්ෂයක මුදලක් පිරිනැමීමට පොත් ප්‍රකාශකයන්ගේ සංගමය කටයුතු සුදානම් කර ඇත.

ස්වර්ණ පුස්තක කෘති ඇගයීම

කෘති ඇගයීම සුපුරුදු පරිදි ම සිදුවන අතර එය පාදක මන්ඩලය, මධ්‍ය මණ්ඩලය සහ උත්තරිතර මණ්ඩලය වශයෙන් මණ්ඩල තුනකට වෙන් කර ඇති අතර පාදක මණ්ඩලයට මෙවර ලබා දුන් කෘති 96 අතරින් කෘති 12ක් හෝ 15ක් තෝරා දීමට නියමිතය. එම කෘති 15 අතුරින් කෘති පහක් තෝරා දීම පැවරෙන්නේ මධ්‍යය මණ්ඩලයට යි. මධ්‍යය මණ්ඩලයෙන් තෝරා දෙන කෘති පහ අතුරින් ස්වර්ණ පුස්තකය තෝරා දීමේ වගකීම පැවරෙන්නේ උත්තරිතර මණ්ඩලයට ය.

කෙටිකතා සහ කාව්‍ය ග්‍රන්ථවලට අදාළව නම්, පළමුව ලැබී ඇති කෘති අතරින් කෘති 3ක් තෝරාගෙන එම කෘති අතුරින් රජත පුස්තක සම්මානය සඳහා එක් කෘතිය බැගින් තොරාගනු ඇත. පළමුව තෝරාගන්නා කෘති හය සඳහා අදාළ කතුවර කතුවරියන්ට රුපියල් 50,000.00 බැගින් පිරිනමන අතර රජත පුස්තක සම්මාන ලාභියාට හෝ ලාභිනියට රුපියල් 2,50,000.00ක මුදලක් හිමිවේ.

ස්වර්ණ පුස්තක විනිශ්චය මණ්ඩලය - 2017

මෙවර විනිශ්චය මණ්ඩලයේ පාදක මණ්ඩලය සඳහා: එච්. ඩී. එස්. මල්කාන්ති, නාලන් මෙන්දිස්, කුලරත්න ආරියවංශ, සුලෝචන වික්‍රමසිංහ, කුල ශ්‍රී කාරියවසම්, ශ්‍රීමතී චන්ද්‍රලතා මුණසිංහ, ප්‍රගීතිකා ජයසේකර, අශෝකා තිලකරත්න, සුමුදු චතුරානි ජයවර්ධන, රෝහිත වනිගසේකර, ජයසිරි අලවත්ත, රෝහණ වෙත්තසිංහ සහ සමන් නන්දලාල් යන මහත්ම මහත්මීහු ද,

මධ්‍යය මණ්ඩලය සඳහා: විමලනාත් වීරරත්න, පුංචිබණ්ඩා ගල්බ, විජිත වෙලගෙදර, බෙනට් රත්නායක යන මහත්වරු සහ කෞෂල්‍යා ප්‍රනාන්දු මහත්මිය ද, උත්තරීතර මණ්ඩලය සඳහා: ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර, මහාචාර්ය හර්ෂණ රඹුක්වැල්ල, තිලකරත්න කුරුවිට බණ්ඩාර, ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි සහ ආචාර්ය ටියුඩර් වීරසිංහ යන මහත්වරු තෝරා පත් කරගෙන ඇත.

කෙටිකතා සහ කාව්‍ය සඳහා ද විනිශ්චය මණ්ඩල දෙකක්

කෙටිකතා සඳහා:

මහාචාර්ය සෝරත්න බාලසූරිය, විකුම් ජිතේන්ද්‍ර, හේමන්ත අමරසිරි, ජයසිරි අලවත්ත, විමලනාත් වීරරත්න, ඒ. ඩී. රංජිත් කුමාර, මිහිර අරවින්ද, නිමල් ඒකනායක, නීල් විජයරත්න යන මහත්වරු සහ එච්. ඩී. එස්. මල්කාන්ති මහත්මිය තොරා පත්කරගෙන ඇති අතර,

කාව්‍ය කෘති විනිශ්චය සඳහා:

ලාල් හෑගොඩ, රවි සිරිවර්ධන, කුලරත්න ආරියවංශ, කුසුම්සිරි විජේවර්ධන, ගීතනාත් කුඩලිගම, ශාන්ත කුමාර විතානගේ යන මහත්වරු සහ පුෂ්පා ඉලංගංතිලක සහ පද්මිණි මාතරගේ යන මහත්මීහු තෝරා පත්කරගෙන ඇත.

මෙවර ස්වර්ණ පුස්කතක සම්මාන උලෙල සැප්තැම්බර් 09 වන දින පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර රජත පුස්තක සම්මාන උළෙල ජුනි මස අවසන් සතියේ පවැත්වීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් දැනුම් දෙනු ලැබ ඇත.

 


3 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now