අමාත්‍යධූර වෙනස්වීම් සිදුවීම නිසා ජනතාවට අඛණ්ඩ සේවයක් සිදුකිරීමට අමාත්‍යවරුන්ට හැකියාවක් ලැබී නැතැයි මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් ප්‍රකාශ කළේය.
විවිධ අවස්ථාවලදී අමාත්‍යධූර වෙනස් වන නමුත් කෘෂිකර්ම අමාත්‍යධූරය සදහා මෙවර සුදුස්සෙක් පත්වී ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවේ මහා නායක හිමියන් ප්‍රකාශ කළේය.
මෙවර අමාත්‍යධූර සංශෝධනයේදී කෘෂිකර්ම අමාත්‍යධූරය හිමිවූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (20/05) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී දන්තධාතූන් වහන්සේ වැද පුදා ගත්තේය.
අනතුරුව ඒ මහතා මල්වතු මහා විහාරයේදී මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් ද අස්ගිරි මහා විහාරයේදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් ද බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
සමහර දුර්වලකම් හේතුවෙන් අමාත්‍යවරුන්ට ද මාරුවීමට සිදුවන බව කී මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් මහින්ද අමරවීර මහතා දැරූ ධීවර අමාත්‍යධූරයට වඩා කෘෂිකර්ම අමාත්‍යධූරය ගැලපෙන බව ප්‍රකාශ කළේය.
දේශීයව වගා කළ හැකි භෝග විදේශවලින් ගෙන්වීම සීමා කළ යුතු යැයි කී මහා නායක හිමියන් පසුගිය කාලයේ කෙසෙල් පවා මෙරටට ගෙන්වා ඇති බව කීවේය.
නව අමාත්‍යධූරය තුළින් මහජනයාට ප්‍රමාණවත් සේවයක් ඉටු කිරීමේ හැකියාව පවතින බව ද මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් සදහන් කළේය.
අනතුරුව අස්ගිරි මහා විහාරයට ගිය අමාත්‍යවරයා එම පාර්ශවයේ මහා නායක හිමියන් බැහැ දැක සිය ඉදිරි වැඩපිළිවෙල දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකාව කෘෂි ක්ෂේත්‍රයෙන් ස්වයං පෝෂිත කළ හැකි නමුත් කුඹුරු විශාල ප්‍රමාණයක් මේ වන විට පුරන් වී ඇතැයි උන්වහන්සේ කීහ.
දේශීයව වගා කළ හැකි භෝග මෙරට වගා කිරීම පිළිබදව ද උන්වහන්සේ අමාත්‍යවරයාගේ අවදානයට යොමු කළේය.
වස විසෙන් තොර ආහාර වගාව ප්‍රචලිත කරන බවත් ඒ අනුව ගෙවතු වගාවක් වශයෙන් කොස්, මුරුංගා, කතුරු මුරුංගා, කෙසෙල් වැනි පැල පවුල් සදහා ලබාදීමට අපේක්ෂා කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා අස්ගිරි මහා නා හිමි හමුවේ කීවේය.
පසුගිය දෙවසරක ඇතිවූ නියං තත්ත්වය හේතුවෙන් ආහාර නිෂ්පාදනය සියයට 30කින් පහළ ගිය බව කී අමාත්‍යවරයා නියං ආධාර වශයෙන් පමණක් රුපියල් මිලියන 38 000ක මුදලක් ගොවියන්ට ලබා දුන් බව කීවේය. නියගය හේතුවෙන් බොහෝ ආහාර වර්ග ආනයනය කිරීමට සිදුවූ බව කී අමාත්‍යවරයා අස්ගිරි මහා නායක හිමියන් හමුවේ මෙසේ ප්‍රකාශ කළේය.
"විශාල වශයෙන් සහල් ආනයනය කිරීමට අපට සිදුවුණා. මේ නිසා සහල් ආනයන බද්ද ශත 25 දක්වා අඩු කිරීමට සිදුවුණා. නමුත් මේ වන විට දේශීය ආහාර නිෂ්පාදනය ඉහළ ගිය නිසා සහල් ආනයන බද්ද 75% දක්වා ඉහළ නංවා තිබෙනවා. නමුත් මහා පාරිමාණ මෝල් හිමියන් සහල් සගවන්නේ නම් යළි බදු අඩු කර සහල් ආනයනය කිරීමට සිදුවෙනවා. අපි වැඩි වශයෙන් ගොවියා සහ පාරිභෝගිකයා පිළිබද අවධානය යොමු කරනවා. කෘෂි නිෂ්පාදන ඉහළ නැංවීම සදහා මෙම වර්ෂයේදී කුඩා පරිමාණ වැව් දහසක් ප්‍රතිසංස්කරණය කිරීමට ද රජයේ අවධානය යොමුවුණා."
වර්ෂ 2020 වන විට සියලුම වැව් ප්‍රතිසංස්කරණය කළ යුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දුන් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, පළාත් කර්මාන්ත හා ක්‍රීඩා අමාත්‍ය තිළිණ බණ්ඩාර තෙන්නකෝන්, බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය ගාමිණී තිලකසිරි, දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍ය නීතිඥ යූ.ජී.ඩී.ආරියතිලක යන මහත්වරු ඇතුලු පිරිසක් මේ අවස්ථාව සදහා එක්විය.

