SKIP TO MAIN CONTENT

ක්‍රීඩකයින්ට රජයේ රැකියා ලබාදෙන කැබිනට් පත්‍රිකාව ප්‍රතික්ෂේපයි : අර්ජන රණතුංග හෙළිදරව් කරයි (වීඩියෝ සහිතයි)

Arjuna Ranathunga_Minister of Sri Lanka
Arjuna Ranathunga_Minister of Sri Lanka Source: SBS Sinhala

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ඛණිජ තෙල් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දැකීම සඳහා සති අන්තයේදී පැමිණුනු අතර එම හමුවෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් පළකරමින් කියාසිටියේ ක්‍රීඩකයින්ට රජයේ රැකියා ලබාදීම සඳහා තමා ඉදිරිපත්කල කැබිනට් පත්‍රිකාව ප්‍රතික්ෂේප වුනු බවයි. ක්‍රීඩකයන්ට සුළු හෝ ආදායමක් ලබාදීමේ සද්භාවයෙන් සිය යුතුකම ඉටු කළ බව කී අමාත්‍යවරයා වැඩිදුරත් මෙසේ ප්‍රකාශ කළේය.

".....ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජීවත් වන්නේ මහත් දුෂ්කරතා මැදයි. ඔවුන්ට ආදායමක් නැහැ. රැකියා කරන්නේ නම් ක්‍රීඩාවට යොමු වන්න බැහැ. නමුත් ලංකා නාමය ලෝකයට ගෙන යන්නේ ඔවුන් විසින්. ඒ නිසා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රජයේ රැකියා ලබාදීම සම්බන්ධයෙනුයි මම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ.

දැනට වසර තිහකට හතළිහකට පමණ ඉහතදී ලංකාවේ ක්‍රීඩකයන් ආරක්ෂා කළේ රාජ්‍ය ආයතන විසින්. ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් තිබුණා. ක්‍රිකට් සඳහා මුදල් නොමැති වකවානුවේදී ඛණිජ තෙල් සංස්ථාව, වරාය වැනි රාජ්‍ය ආයතන විසින් ක්‍රීඩකයන්ට රැකියා ලබාදී ඔවුන්ට ක්‍රීඩා සඳහා යොමුවීමට මාර්ගය සකස් කර දුන්නා. ක්‍රීඩා නොමැති කාලවල පවා එම ආයතන පුහුණු අවස්ථා සලසා දුන්නා. එවැනි අවස්ථාවක් උදාකිරීමට මා උත්සහ කළා. නමුත් කැබිනට් පත්‍රිකාව ප්‍රතික්ෂේප වුනා. නමුත් මගේ උත්සහය ගැන සතුටු විය හැකියි....."

වත්මන් ක්‍රීඩා ඇමතිට දෝෂාරෝපණ

තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අර්ජුන රණතුංග පැවසුයේ වර්තමාන ක්‍රීඩා ඇමතිට ක්‍රිකට් දියුණු කරන්න අවශ්‍යතාවයක් තිබෙනවාද යන්න පිළිබඳව තමාට ගැටලුවක් පවතින බවයි. ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රසිද්ධ වුණේ ක්‍රිකට් ක්‍රීඩාව නිසා බවත් වත්මන් ක්‍රීඩා ඇමතිවරයා ගේ ක්‍රියාකලාප හේතුවෙන් එම තත්වයද විනාශකරගෙන ඇති බවත්ගි, වත්මන් ක්‍රීඩා අමැතිවරයා මේකට වගකිව යුතු බවත් අර්ජුන රණතුංග මහතා පවසා සිටියේය.

පසුගිය ආණ්ඩුවට හොඳ කියයි.

ක්‍රීඩාව සම්බන්දව පසුගිය ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳව අදහස් පලකොට සිටි අමාත්‍ය අර්ජුන රණතුංග ඒ පිළිබඳව මෙසේද පැවසිය...

"....පසුගිය ආණ්ඩු සමයේ ක්‍රිඩාවට මෙවැනි අතපෙවීම් සිදුවුණේ නැහැ. අනවශ්‍ය පුද්ගලයන් ක්‍රීඩාවට සම්බන්ධ කර නොගැනීමට එවකට ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ක්‍රියා කළා. ඒ පිළිබදව මම ආඩම්බර වෙනවා. රටට යහපත් හොද තීරණ ගත හැකි ඇමතිවරු පසුගිය ආණ්ඩුවේ හිටියා. 2015 ජනවාරි මස නව ආණ්ඩුව පත්වූ අවස්ථාවේ සිට මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වළ පල්ලට ගිය බව කණගාටුවෙන් වුවත් කිව යුතුයි.

ක්‍රීඩාව විනාශකරන දේශපාලඥයන්ට පාඩමක් ඉගැන්වීම සඳහා ජනතාවට අවස්ථාවක් හිමි වෙනවා, ඒ තමා ඉදිරි මැතිවරණය...." යැයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

* SBS සිංහල ගුවන්විදුලි වාර්තාකරු නදීක දයා බණ්ඩාර - මහනුවර සිට සැපයූ තොරතුරු ඇසුරිනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now