පේරාදෙණිය විශ්ව විද්‍යාලය තාවකාලිකව වසාදැමීමේ සත්‍ය හේතු උපකුලපති විසින් පහදයි

University of Peradeniya_Sri Lanka

University of Peradeniya_Sri Lanka

සිසුන්ගේ ඉල්ලීම් සදහා විසදුම් තීරණය කර ඇතත් ඒ පිළිබදව සාකච්ඡා සඳහා ඔවුන් සහභාගී නොවී දිගින් දිගමට විරෝධතාවල නිරත වෙමින් සිටින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක මහතා ප්‍රකාශ කරයි.

අධ්‍යයන කටයුතු සඳහා සියයට අසූවක සහභාගීවීම ඇතුලුව සිසු ඉල්ලීම් පහ සඳහා පාලක සභාව විසින් මේ වන විට විසදුම් තීරණය කර ඇතැයි එම විශ්ව විද්‍යාලයේ දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යයන කේන්ද්‍රෙය්දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්ය වරයා කීවේය.

ඉංජිනේරු පීඨයේ දේශන සඳහා සහභාගීවීමේ ප්‍රතිශතය සියයට අසූවක් සම්පූර්ණ කර නොමැති වීම යන්නෙන් අදහස් කරන්නේ දේශන පමණක් නොව විද්‍යාගාර, කේෂත්‍ර අධ්‍යයන, දේශන ආදි සියලු අංශවල ආවරණයක් යැයි කී ඒ මහතා තවදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.

"...දේශන සඳහා සහභාගීවීම සියයට අසූව සම්පූර්ණ නොකරන සිසුන්ට විභාගයට පෙනී සිටීමට අවස්ථාව හිමි නොවන නීතිය ගෙන ආවේ අප පමණක් නොවෙයි. මේක අමුතු තීන්දුවක් නොවෙයි. වර්ෂ 2000 සිට දැනට අවුරුදු 18ක් තිස්සේ ක්‍රියාත්මක වන රටේ සමස්ථ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිදුවන සාමාන්‍ය නීතියක්. අධ්‍යයන කටයුතු සඳහා සහභාගී නොවන ඉංජිනේරුවන් රටට බිහිකරන්නේ කෙසේද?

නමුත් විවිධ හේතුමත එලෙස දේශන සඳහා සහභාගීනොවුණු සිසුන් සඳහා සාර්ථක විකල්ප ක්‍රම තිබෙනවා. ඔවුන්ට පෞද්ගලික මට්ටමින් අභියාචනා ලිපි ඉදිරිපත් කිරීම මගින් සහනයක් ලබා ගත හැකියි. මෙම විරෝධතා දක්වන පිරිස් අතරේ සිටි සිසුන් හය දෙනෙකු එලෙස ලිපි යොමු කර ඉන් සිව් දෙනෙකු සඳහා විභාගයට පෙනී සිටීමේ අවස්ථාව හිමිකර ගත්තා. සෙසු දෙදෙනාගේ වෛද්‍ය සහතික ඔවුන් විසින් ඉදිරිපත් කළ පසු විසදුමක් ඔවුන් දෙදෙනාටද හිමිවේවි.

නමුත් සෙසු සිසුන් එලෙස ලිපි ලබා දෙන්නේ නැහැ. ඒකට ප්‍රධාන හේතුව වන්නේ සිසු සංගම්වලින් එල්ලවන බලපෑමයි. ගැටලුවට විසදුම් ලබාදීම සදහා පැවැත්වෙන සාකච්ඡා සඳහා මෙම සිසුන් සහභාගී නොවන්නේ ද මෙම සංගම්වල පවතින බලපෑම් නිසයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලය මාස දෙකක පමණ කාලයක් වසා දැමීමට ප්‍රධාන හේතු

මෙයට ප්‍රධාන හේතු කිහිපයක් තිබුණු බවයි උපකුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක මහතා ප්‍රකාශ කරන්නේ. ඒ පිළිබඳව වැඩිදුරත් අදහස් පලකොට සිටි ඒ මහතා මෙලෙස පැවසිය,

"....සනාථන මන්දිරය යනු සමස්ථ විශ්ව විද්‍යාලය පාලනය කරන මර්මස්ථානයයි. එය සිසුන් වටලා එහි ලැගුම් ගැනීම මගින් පරිපාලන ගැටලු රැසක් මතුවුණා. අධ්‍යයන අනධ්‍යයන සේවකයන් ද දෙස් විදෙස් පර්යේෂකයන්, රාජ්‍ය නියෝජිතයන් විශාල පිරිසක් මෙම ස්ථානයට නිරන්තරයෙන් පැමිණෙනවා. සිසුන් බිම නිදාගෙන ගොඩනැගිලි අවහිර කර සිටීම තුළින් ඔවුන් දැඩි අසීරුතාවට පත්වුණා.

එමෙන්ම සිසුන් පේරාදෙණියේ සිට මහනුවර දක්වා පා ගමනින් විරෝධතා පෙළපාලි ගමන් කිරීම ද සිසුන්ගේ ආරක්ෂාවට මෙන්ම විශ්ව විද්‍යාලයට ද මහත් ගැටලුවක් වුණා. මෙවැනි හේතු කිහිපයක් මතයි සිසුන් දහතුන් දහසක් අධ්‍යාපනය ලබන පේරාදෙණිය විශ්ව විද්‍යාලය මාස දෙකක් වැනි කාලයක් වසා දැමුවේ. නමුත් මේ වන විටත් සිසුන් 30 ත් 50ත් අතර ප්‍රමාණයක් සනාථන මන්දිර පරිශ්‍රයේ රැදී සිටිනවා. අධ්‍යයන, අනධ්‍යයන හා ශිෂ්‍ය යන පාර්ශවවල සහයෝගය නොමැති නම් විශ්ව විද්‍යාලය පවත්වාගෙන යන්න බැහැ. මේ වන විට සිසු අර්බුද මත මාස දෙකක් විශ්ව විද්‍යාලය වසා තිබෙනවා. පසුගිය වර අනධ්‍යයන සේවක වර්ජනය හේතුවෙන් මාස දෙකක් විශ්ව විද්‍යාලය අඩාල වුණා. මේ අයුරින් අවසානයේ සිදුවන්නේ සිසුන්ගේ උපාධිය ලබා ගැනීමේ අවස්ථාව දිගින් දිගටම ප්‍රමාද වීමයි...."

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගස් කැපීමේ සිද්ධිය

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක මහතා ඒ පිළිබඳව ප්‍රකාශ කොට සිටියේ මෙවැන්නක්,

"...චීන ජනපති හා ශ්‍රී ලංකා ජනපති අතර හමුවකින් පසු ජලය පිළිබද පර්යේෂණාගාරයක් ඉදිකිරීමට එක්සත් ජනපද ඩොරල් මිලියන දෙසීයක් ශ්‍රී ලංකාවට හිමිවුණා. මෙම ආයතනය සදහා ලබා දෙන මුදල් යළි ගෙවිය යුතු නැහැ. ආධාරක රට වසර පහක් ආයතනය පරිපාලනය කිරීමෙන් පසු එය ශ්‍රී ලංකාවට ලබාදී ඔවුන් යනවා. රෝග නිධානයක් තවමත් සොයා ගත නොහැකි වකුගඩු රෝගය සඳහා ස්ථීර ප්‍රතිකර්මයක් මෙම ආයතනය මගින් ලබාදිය හැකි යැයි අප විශ්වාස කරනවා. මේ ආයතනය අනුරාධපුර, පොළොන්නරුව ආදි විවිධ ප්‍රදේශවල ස්ථාපිත කිරීමට ස්ථාන සෙවීම කළත් පර්යේෂකයන් රැසක් නිරන්තරයෙන් ගැවසෙන පේරාදෙණිය සුසුදු යැයි තීරණය වූ නිසා මේ අනර්ඝ අවස්ථාව අප විශ්ව විද්‍යාලයට හිමිවුණා.

මෙම ආයතනය ඉදිකිරීම සඳහා භූමිය නිරවුල් කර ලබා දුන් පසු එය ඉදිකිරීම චීනය විසින් කරනවා. ඉංජිනේරු පශ්චාත් උපාධි ආයතනය ඉදිකිරීම සදහා යෝජිත භූමියයි මේ සඳහා අප ලබා දුන්නේ. නමුත් පශ්චාත් උපාධි ආයතනය වෙනුවෙන් ද ප්‍රමාණවක් ඉඩක් ලබාදීමට චීනය තීරණය කර තිබෙනවා. මේ ගොඩනැගිලි හදන්න ඉඩක් අවශ්‍යයි. විරෝධතා හේතුවෙන් යම් අයුරකින් පර්යේෂණාගාරය පේරාදෙණියට අහිමි වන්නේ නම් එය පර්යේෂකයන්ට විශාල ගැටලුවක්.

මෙම විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබා මෙහි පත්වීම් ලබා අවුරුදු හතළිහක පමණ කාලයක් මෙහි ජීවත්වන මම මෙන්ම අප සියලු දෙනා විශ්ව විද්‍යාලයට ආදරෙයි. අපි කවදාවත් මෙහි වෘක්ෂ ලතා විනාශ කරන්නේ නැහැ. නමුත් ගොඩනැගිලි ගස් උඩ ඉදිකරන්න බැහැ. 

මෙම ආයතන වෙනුවෙන් කපන ලද ගස් 136 අතරන් වටිනා ගස් ලෙස තිබුණේ කොස් ගස් තුනක් පමණයි. නමුත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගස් පන්දහසක් රෝපණය කරන වැඩපිළිවෙලක් නුදුරේදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි..."

ගස් කපනවා යයි විරෝධය පළ කළ පිරිස් සදහා එම පැළ රෝපණය කිරීමේ අවස්ථාවට සහභාගීවන ලෙස ආරාධනා කරන බව උපකුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය පරාක්‍රම කරුණාරත්න මහතා, ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලීලානන්ද රාජපක්ෂ මහතා ඇතුලුව පීඨ අටෙහි පීඨාධිපතිවරුන් ද ලේඛකාධිකාරී සමන් රාජපක්ෂ මහතා සහ උද්‍යාන පාලකවරුන් දෙදෙනා ද මෙම මාධ්‍ය හමුව සඳහා සහභාගීවූහ.

SBS සිංහල වැඩසටහනේ වාර්තාකරු නදීක දයා බණ්ඩාර - මහනුවර සිට සැපයූ තොරතුරු ඇසුරිනි.


5 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now