SKIP TO MAIN CONTENT

මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් හමුවේ විග්නේශ්වරන් දුක කියයි.(වීඩියෝ සහිතයි )

C.V Vigneshawaran meets Malwathu chapter Sangha
Source: SBS Sinhala

3 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS


Skip to article content

උතුරේ මහජනයා සමාජීය වශයෙන් පත්ව ඇති පීඩාව රජයට දැනුම්දී සාකච්ඡා කිරීම  දේශපාලඥයන්ගේ කාර්යයක් වන්නේ යැයි මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ පවසයි. දේශපාලඥයන් සිය පක්ෂ දියුණු කර ගැනීමට උත්සහ කරනු මිස සෑම විටම ජනතා ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු නොකරන බව ද උන්වහන්සේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා සමග පැවසීය.

මහනුවරට පැමිණි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මල්වතු මහා විහාරයේදී අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ බැහැ දැක මේ වන විට උතුරේ පවතින තත්ත්වය දැනුම් දුන්නේය. දකුණේ මහජනයා උතුර පිළිබදව දරන මතය නිවරැදි නොවන බවත්, යුද්ධය අවසන් වී ඇති නමුත් එහි ජනතාව මේ දක්වා දැඩි මානසික පීඩනයකින් යුතුව ජීවත්වන බව ප්‍රධාන අමාත්‍යවරයා සදහන් කළේය.

SBS සිංහල වැඩසටහනේ Facebook පිටුවට මෙතනින් පිවිසෙන්න

යුද්ධය හේතුවෙන් වැන්දඹු තත්ත්වයට පත්වූ කාන්තාවන් 89 000ක් උතුරේ ජීවත්වන බව කී ඒ මහතා එම කාන්තාවන් දැඩි අසරණ තත්ත්වයෙන් ජීවිකාව පවත්වා ගෙන යන බව කිවේය. යුද්ධය හේතුවෙන් අනාථ වූ දරු දැරියන් රැසක් සිටින බව කී ප්‍රධාන අමාත්‍යවරයා මහා නායක හිමියන් හමුවේ මෙසේ සදහන් කළේය.

"...යුද්ධයට සම්බන්ධ වී පුනරුත්තාපනය ලැබුවන් අද සමාජ ගත කොට ඇතත් ඔවුන්ට කිසිවෙකුත් රැකියා ලබා දෙන්නේ නැහැ. අද උතුරේ ජනතාව ජීවත් වන්නේ විරැකියාවෙන්. කිසිවෙකුට රැකියාවක් ලබා දෙන්නේ නැහැ. ලබා දෙන්න රැකියා නැහැ. උතුරේ ජනතාවට ධීවර කර්මාන්තය කරන්න අසීරුයි. දකුණේ ජනතාව, හමුදා සහයෝගයෙන් උතුරට පැමිණ ධීවර කටයුතු කරනවා. උතුරේ ධීවරයන් අසරණයි. ඔවුන්ගේ විශාල බෝට්ටුටක් හා උතුරේ ජනතාවට සතු කැටමරන් නම් කුඩා බෝට්ටුවක් පසුගියදා ගැටී දෙදෙනෙකු තුවාල ලැබුවා. දකුණේ ජනතාව සෑම විටම අප පිළිබදව දරන්නේ වැරදි අවබෝධයක්. මම මහනුවරට පැමිණ මහා නායක හිමියන් දැනුවත් කරන්න තීරණය කළේත් ඒ නිසයි. පාරවල් හැදුවට වැඩක් නැහැ, සාමාන්‍ය ජනතාවට ජීවත්වෙන්න ක්‍රමයක් සකස් කර දිය යුතුයි.

යුද්ධය නිමා වෙලා මේ වන විට අවුරුදු 08ක් ගතවී ඇතත් උතුරේ තවමත් හමුදා සෙබළුන් එක්ලක්ෂ පනස් දහසක් ඉන්නවා. බල ඇණි 18ක් උතුරේ තිබෙනවා. එක් බල ඇණියක සෙබළුන් 10 000ක් පමණ සිටිනවා.

ජනාධිපතිවරයා වෙත මම ප්‍රකාශ කළා මෙම සෙබලුන් ඉවත් කර ගන්න කියා. මම නිකමට වගේ යෝජනා කළා, පළාතට එක බැගින් පළාත් නමය තුළ මෙම බලඇණි බෙදා හරින්න කියලා.

ඉඩම් දෙනවා කීවාට ඉඩම් ලැබෙන්නේ මන්දගාමීවයි. මුළු පළාතේම අක්කර 85 000ක් පමණ හමුදාව සතුව තිබුණා. නමුත් අප වෙත නිදහස් කර තිබෙන්නේ තවමත් අක්කර 5000ක් පමණ ප්‍රමාණයකි. අක්කර 1000ක් අපට ලබා දෙන බව වසර කිහිපයකට පෙර රජය කීවත් අපට ලැබුණේ අක්කර 425යි. උතුරේ ජනතාවට ඉඩම් ලබා දෙන බව කීවත් ලැබී ඇත්තේ ඉතාම සුළු ප්‍රමාණයක් පමණයි. ඔවුන්ට පිරිසිදු ජලය ලැබෙන්නේ නැහැ. පිරිසිදු ජලය සහිත ළිං තිබෙන්නේ හමුදා පාලනය යටතේයි.

ෆෙඩරල් ක්‍රමයක් අප යෝජනා කරන්නේ රට බෙදීමට නොව රට එකතු කිරීමටයි. සිංහල විනිසුරුවන් තිදෙනෙකු ලබා දුන් තීන්දුවක් අනුව ද පැහැදිලි වන්නේ ෆෙඩරල් ක්‍රමය තුළින් රට එකතු කරන බවයි. එසේ නැතිව රට කැබලිවලට වෙන් කිරීමක් අදහස් වන්නේ නැහැ.

උතුරේ ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබදව අප ජනාධිපතිවරයා වෙත දැනුම් දුන්නා. එතුමා අප කෙරෙහි සානුකම්පික අවධානය යොමු කළා. නමුත් එතුමාට ද විවිධ හේතුනිසා ඊට මැදිහත්වීම අසීරුවී තිබෙන බව අපට වැටහෙනවා. ආණ්ඩුව ජනතාවට සහන ලබා දෙන අතරේ ඉදිරි මැතිවරණය පිළිබදවත් කල්පනා කරනවා. පක්ෂය දියුණු කිරීම හා ඊළග මැතිවරණයට මුහුණදීම ඔවුන් කළ යුතුයි. නමුත් මට එවැනි ඉලක්කයක් නොමැති නිසා ජනතාව වෙනුවෙන් ජනතා ඉල්ලීම් ආණ්ඩුවට ඉදිරිපත් කරනවා ...." යැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙහිදී මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන්, ප්‍රධාන අමාත්‍යවරයා වෙත බුද්ධ ප්‍රතිමාවක් හා ධම්මපදය ග්‍රන්ථයක් පිළිගැන්වීය.

උතුරු පළාත් කාන්තා කටයුතු, පුනරුත්තාපන, කර්මාන්ත හා ව්‍යවසාය ප්‍රවර්ධන අමාත්‍ය ආනන්දි සෂිදරන් සහ උතුරු පළාත් කෘෂිකර්ම , ගොවිජන සේවා, වාරිමාර්ග හා පරිසර අමාත්‍ය කන්දයියා ශිවනේෂන් යන අයවලුන්ද මේ අවස්ථාවට එක්වූහ.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now