එක්සත් ජාතික පක්ෂ මධ්‍යම කාරක සභාවේ ඇතමුන්ගේ හැසිරීම අනුව ඩී.එස්.සේනානායක මහතා ආරම්භ කළ පක්ෂය මෙය දැයි සිතුණු බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමිපාණන් වහන්සේ හමුවේ පවසා තිබේ.පැය දෙකක පමණ කාලයක් තමන් පිළිබදව කළ සාකච්ඡාවේදී මහජන දේපොල විකිණීමට එකග නොවන බව යළිත් පැවසූ බවද අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා එහිදී පවසා තිබේ.
අමාත්‍යවරයා ඊයේ (අගෝස්තු 19) අස්ගිරි මහ විහාරයේදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. එහිදී පැවති සාකච්චාවේදී අමාත්‍යවරයා මෙම කරුණු හෙළිදරව් කොට තිබේ.
දේශීය සම්පත් විදේශිකයන් වෙත අලෙවි කිරීම හා බදු දීම යන දෙකෙහි විශාල වෙනසක් නොමැති බවත් ඒ දෙකෙන්ම සිදුවන්නේ අප සම්පත් අපට අහිමි වීම යැයි අමාත්‍යවරයා කීවේය. වසර 99ක කාලයක් යනු පරම්පරා කිහිපයක් වන බැවින් මහජන සම්පත් අප රැක ගත යුතු යැයි ඒ මහතා සදහන් කළේය.
තමන් පිළිබදව කොළඹ දී පැවැති කාරක සභා රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු ඝෝෂා කරමින් ක්‍රියා කළ බවත් එම ක්‍රියාවන් පක්ෂයට උචිත නොවන බව කී අමාත්‍යවරයා මෙසේ කීවේය.
"ලාබාල, නූගත් හා මාලු කඩේ පිරිස් රණ්ඩුවන අයුරිනුයි ඔවුන් හැසිරුණේ. නමුත් කියන්න තිබෙන දේ මම එහිදී කිව්වා. මගේ හෘද සාක්ෂියට අනුව දේපොල විකුණන එකට මම එකග වන්නේ නැහැ කියා මම කීවා. වර්ෂ 2003දී මධ්‍යම, සබරගමුව, බස්නාහිර ඇතුලුව ලංකා ගමනාගමන මණ්ඩලය රුපියල් මිලියන 860කට පුද්ගලීකරණය කළා. නමුත් මම ශේෂ්ඨාධිකරණය වෙත ගොස් දින ගණනාවක් නඩු සදහා පෙනී සිට යළි ලංගම රජයට ලබා ගත්තා. ජනාධිපති නීතිඥවරුන් ගණනාවක් සමග මට තර්ක කරන්න සිදුවුණා. එවකට විනිසුරු සරත් නන්ද සිල්වා මහතා තීන්දු කළේ ලංගමය යළි රජයට ලබා දිය යුතුයි කියා. ජනාධිපති නීතිඥවරුන් නඩුවේදි පෙනී සිටියේ මුදල් වෙනුවෙන්. නමුත් මම ක්‍රියාකළේ රට වෙනුවෙන්. ඒ ලැබූ තීරණය මම ලැබූ විශාල ජයග්‍රහණයක්."
"රුපියල් බිලියන 125ක් වටිනා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව එදා රුපියල් බිලියන 06කට පුද්ගලික අංශයට අලෙවි කර තිබුණා. එය යළි පවරා ගැනීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද උත්සහ කළා. රක්ෂණ සංස්ථාව මෙන්ම ඒ අයුරින් පුද්ගලීකරණය කොට තිබුණු ඇපලෝ රෝහල, වරයා සතු ඉඩම් ආදිය යළි රජයට පවරා ගැනීමට අපට හැකිවුණා."
මහජන නියෝජිතයන් වන අපට බලය ලබා දී තිබෙන්නේ වසර පහක කාලයක් සදහායි. මේ දින වල මා වෙත අවදාල අවනම්බු රැසක් එල්ල කරනවා. නමුත් ඒ දෙස තමන් ඉවසිල්ලෙන් යුතුව බලා සිටින බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් සමග පැවසීය.
අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමියන් ද මේ අවස්ථාවට එක්විය.
මහා නායක හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය කළ විමසුමට පිළිතුරු දුන් අමාත්‍යවරයා,
"කවුරු හෝ කෙරෙහි පළි ගැනීමේ චේතනාවෙන් යුතුව නඩු කටයුතුවලට මැදිහත්වීමේ කිසිදු අවශ්‍යතාවක් තමන්ට නොමැති බව කීවේය.
අධිකරණය වෙත ඉදිරිපත්කරන නඩු තමන් ප්‍රමාද කරන බවට ඇතමුන් එල්ල කරන චෝදනාව පිළිනොගන්නා බවත් අධිකරණ හා නිතිමය කටයුතු නීතිපති දෙපාර්තමේන්තුව විසින් සිදු කරන බවත් ඒ වෙත කිසිවෙකුට මැදිහත්වීමට නොහැකි බව ප්‍රකාශ කළේය. අධිකරණය මෙන්ම ස්වාධීන ආයතනයක් වන නීතිපති දෙපාර්තමේන්තුවේ පරිපාලනය කාර්යක්ෂම කිරීම සදහා තමන් මැදිහත් වන නමුත් නීතිමය කටයුතු සදහා බලපෑම් කිරීමේ බලයත් තමන්ට කෙසේ වෙතත් ජනාධිපති හෝ අගමැතිවරයාටවත් නැතැයි කී හෙතෙම මෙසේ ද කිවේය.
"නීතියේ ආධිපත්‍ය අනුව නඩු අහන්නේ කවද්ද? කොපමණ කලක් යනවාද? කවුද නඩුව අහන්නේ යන්න ආදිය තීරණය වන්නේ විනිශ්චයකාරවරුන්ගේ අභිමතය පරිදි මිස දේශපාලඥයන්ගේ අභිමතය පරිදි නොවෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මෙරට ඕනැම පුද්ගලයෙක් නීතිය හමුවේ සමාන යැයි සදහන් මූලික ප්‍රතිපත්තිය මත සිටයි නඩු විභාග කරන්නේ."
අනෙක් කරුණ වන්නේ යම් අධිකරණයක් මගින් කිසිවෙකු වරදකරු බවට තීන්දු කරන තෙක් හෙතෙම නිවරැදිකරු යැයි යන පුර්ව නිගමනය මත සිටයි නඩු විභාග කරන්නේ. අතීතයේ සිටි අධිකරණ ඇමතිවරු ඒ සම්බන්ධයෙන් මැදිහත්වුණා. එහිදී අවසානයේ සිදුවුණේ එය ආණ්ඩුව පෙරළීමට ප්‍රධාන හේතුවක්වීමයි. ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා අධිකරණ කටයුතුවලට මැදිහත්වීම නිසා දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව දොම්පේ ආසනය පවා පරාජයට පත්ව ආණ්ඩුව කඩා වැටුණා.
එවැනි අත්දැකීමක් ලබන්න මට කිසිම අවශ්‍යතාවයක් නැහැ. කවුරුන් හෝ කෙරේ ද්වේෂයෙන්, වෛරයෙන්, ඊර්ෂ්‍යාවෙන් නඩු කටයුතුවලට මැදිහත්වෙන්න මට අවශ්‍ය නැහැ. ඔවුන් ඔවුන්ගේ රාජකාරිය සිදුකරාවි, මම මගේ රාජකාරිය සිදුකරනවා.
සාමුහිකත්වය කඩ කිරීම මට එල්ලවන අනෙක් චෝදනාවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නා බවට අමාත්‍ය මණ්ඩලය ඒකමතිකව රැස්වී තීන්දු කර ගත්තා. නමුත් පැය 48ක් ගතවීමට මත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු පසුව තීන්දු කර ගෙන තිබෙනවා, සංශෝධනයට විරුද්ධයි කියා අත එසවීමට. මෙවැනි සිද්ධීන්ට තමයි සාමුහිකත්වය කඩ කරනවා කියන්නේ.
නමුත් ජාතික සම්පත් විදේශිකයන්ට ලබා නොදිය යුතු යැයි පැවසීම නිසා තමන් සාමුහිකත්වය කඩ කළ බව කියමින් ඇතමුන් තමන්ට චෝදනා කරන බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
කාලීන තොරතුරු දැනගැනීම සඳහා පිවිසෙන්න SBS සිංහල වැඩසටහනේ Facebook පිටුව වෙත www.facebook.com/sbssinhalese

