ඒකාබද්ධ විපක්ෂයේ දුක්ගැනවිලි අස්ගිරි හිමියන්ට කියයි.

Joint opposition Parliament members visit Asgiri Maha Nayake Thero

Source: SBS Sinhala

ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීමට තමන්ට ප්‍රමාණවත් අවස්ථාවක් නොලැබෙන බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීම සඳහා අවස්ථාවක් ලබා ගැනීමේදී කතානායකවරයා ඒ සඳහා අග්‍රාමාත්‍ය වරයාගේ අනුමැතිය ලබාගෙන තමන්ට ඉතාමත්ම සුළු අවස්ථාවක් පමණක් ලබාදෙන බව අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ හමුවේ ඒ මහතා කියා සිටියේය.

ආණ්ඩුවට එරෙහිව ලබන පස්වන දින කොළඹ දී පැවැත්වීමට නියමිත ජන විරෝධය පිළිබඳව මහනායක හිමියන් දැනුවත් කිරීමේ අරමුණින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු  මහනායක හිමිපාණන් වහන්සේ බැහැ දුටුහ.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා,  අද වන විට රටේ පමණක් නොව පාර්ලිමේන්තුවේ පවා ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති වී ඇතැයි ප්‍රකාශ කළේය.  

එම ප්‍රජාතන්ත්‍රවාදය උදා කර ගැනීම සඳහා ජන සහභාගීත්වයෙන් කොළඹ දී සාමකාමී විරෝධයක් පළ කරන බව මහා නායක හිමියන් හමුවේ පැවසීය.

ආණ්ඩුවෙ වත්මන් ගමන් මග බෙහෙවින්ම අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම ගමන් මග නිවැරදි මගට ගැනීම සඳහා මහා සංඝරත්නය මැදිහත්වීමක් කළ යුතු බවත් පෙන්වා දුන්නේය.

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මහ නායක හිමියන් හමුවේ අදහස් දක්වමින් ආයුධ සන්නද්ධ පිරිස් දෙදහසක් පමණ රටේ සැරිසරන බව එල්ටීටීඊ සංවිධානයෙන් පුනරුත්ථාපනය වූ පිරිස් ප්‍රකාශ කොට ඇතැයි කීවේය.

මේ අයුරින් රට තුළ ආයුධ  සංසරණය වීම නිසා දිනෙන් දින බරපතළ අපරාධ වාර්තා වන බවත් ජනතාවට බරපතල ජීවිත තර්ජනයක් මතු වී ඇති බවද  මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ජනතාවගේ ආර්ථික තත්ත්වය අසීරු යැයි නිරන්තරයෙන් පෙන්වා දෙන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අනික් අතට ජනතාව මත බදු බර පැටවීම සාධාරණ  නො වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙසේද ප්‍රකාශ කළේය.

"මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව ආණ්ඩුව නිරන්තරයෙන් කතා කරනවා.  නමුත් ඊට විසඳුමක් ලබා දී නැහැ.    දේශපාලන පළි ගැනීම් වශයෙන් පසුගිය ආණ්ඩුව විසින් කරන ලද සංවර්ධන ව්‍යාපෘති රැසක් මේ වන විට විදේශීය රටවලට අලෙවි කරනවා.  වර්ෂ 2020 දී නොව වර්ෂ 2019 දී ජනාධිපතිවරණයක් පවත්වා  නව ආණ්ඩුවක් බලයට පත්වුණොත් ඔවුන්ට රට කර ගැනීම දැඩි අසීරු තත්ත්වයක් විය හැකියි.  ආදායම් ඉපැයිය හැකි සියලුම  සංවර්ධන ව්‍යාපෘති මේ වන විට විදේශීය රටවල් වෙත අළෙවි කොට හමාරයි. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට නම් නියමිත පරිදි මැතිවරණ පැවැත්විය යුතුයි.  නමුත් අද වන විට පළාත් සභා ඡන්දය මාස ගණනකින් ප්‍රමාදයි.  ආණ්ඩුව මේ පිළිබඳව කිසිදු අවධානයක් යොමු කරන්නේ නැහැ.  දුම්රිය, තැපැල්, අධ්‍යාපන, සෞඛ්‍යය, යන මේ සියල්ල සේවාවන් ඉවත්කර සංස්ථාවක් බවට පත් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක්  මේ වන විට යොමු කොට තිබෙනවා. යම් අයුරකින් මෙම ආයතන පාඩු ලබනවා නම් ඒවා කාර්යක්ෂම කොට   ලාභ ලබන තත්ත්වයට පත් කිරීමේ වගකීම තිබෙන්නේ ආණ්ඩුවටයි."


3 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now