SKIP TO MAIN CONTENT

මහනුවර ඇතිවූ නොසන්සුන්තාව හොයන්න යුරෝපා සංගමයෙන් මහනුවරට ඇවිත් මහා සංඝරත්නයට අප්‍රසාදය පළකරයි (වීඩියෝ)

EU members met Maha sangha in Kandy - Sri Lanka
EU members met Maha sangha in Kandy - Sri Lanka Source: SBS Sinhala

4 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

පසුගිය දිනවල ලංකාවේ මහනුවර ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවූ නොසන්සුන්තාව පිළිබදව සොයා බැලීම සදහා දිවයිනට පැමිණි යුරෝපා සංගමයේ නියෝජිත පිරිස ඊයේ (27) අස්ගිරි මහා විහාරයේදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් ඇතුලු එම පාර්ශවයේ මහා සංඝරත්නය ද මල්වතු මහා විහාරයේදී මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් ද බැහැ දැක සිද්ධිය පිළිබදව කරුණු විමසා බැලූහ.

නියෝජිත පිරිසේ කණ්ඩායම් නායක, යුරෝපා සංගමයේ තානාපති ටියුන්ග් ලායි මාර්ගුයි (Tung-Lai-Margue),ස්විස්ටර්ලන්ත  තානාපති හේන්ස් වෝල්ටර් නෙඩර්කෝර්න් (Heinz Walter Nederkoorn),රුමේනියානු තානාපති වික්ටර් චියුඩියා(Victor Chiudea) යන මහත්වරුන්ගෙන් මෙම නියෝජිත පිරිස සමන්විත විය.

තෙල්දෙණිය හා ඒ අවට ඇතිවූ නොසන්සුන්තාව  ජාතිවාදී අරගලයක් නොව දෙපිරිසක් අතර ඇතිවූ අනවබෝධය දුරගිය යාමක් පමණක් යැයි ශාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු හා අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් මෙම පිරිස හමුවේ පවසා සිටියහ. ජාතිවාදී අරගලයක් යැයි ජාත්‍යන්තරය හදුන්වන නමුත් සිංහළ හා මුස්ලිම් ජනතාව අතර ඇති සංහිදියාව සිංහල රාජධානි සමය දක්වා දිවෙන බව යුරෝපා සංගමයේ නියෝජිතයන් හමුවේ මහා නායක හිමියන් සදහන් කළහ.

ශ්‍රී ලංකාවේ මහා සංඝරත්නය මුස්ලිම් පිරිස් වෙත පහර දෙනු මාධ්‍ය තුළින් තමන් දැක කම්පා වූ බව මෙම නියෝජිතයන් සදහන් කළහ. මේ නිසා මුස්ලිම් ජනතාව දැඩි පීඩනයට පත්ව ඇති බව ද තමන් විශ්වාස කරන බව ඔවුන් කීහ.

නියෝජිතයන් හමුවේ අදහස් දැක්වූ මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන්, මෙම සිද්ධිය කිසිසේත්ම ජාතිවාදී අරගලයක් නොවන බව අවධාරණය කළහ. ජාතිවාදය ශ්‍රී ලංකාවේ පමණක් නොව අසල්වැසි ඉන්දියාව, ඇමරිකාව යුරෝපය වැනි ලොව කොතනත් දැකිය හැක්කක් යැයි කී උන්වහන්සේ තෙල්දෙණිය හා ඒ අවට ඇතිවූ සිද්ධිය ජාතිවාදී අරගලයක් යැයි ලෝකයට පෙන්වා දී යුක්ති සහගත නොවන්නේ යැයි කීවේය.

බෞද්ධ ජනතාව අවිහිංසාවාදය පිළිගන්නා බවත් ඔවුන් මුස්ලිම් ජනතාව තලා පෙලා පීඩාවට පත් කිරීමට තරම් සාහසික නොවන බවත් මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් වැඩිදුරටත් සදහන් කළහ.

අස්ගිරි  පාර්ශවයේ මහා නායක හිමියන් අදහස් දක්වමින්, අද ඇතැම් සංවිධාන ශ්‍රී ලාංකාව තුළ අන්තවාදී ජාතිවාදී අරගල නිර්මාණය කිරීමට උත්සහ කරන බව කීහ. ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන මේ සදහා වැඩි දායකත්වයක් ලබා දෙන බවත් උන්වහන්සේ සදහන් කළහ. අස්ගිරි මහා විහාර පාර්ශවය වෙනුවෙන් අදහස් දැක්වූ එම පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් අදහස් දක්වමින්,

"....මහනුවර නගරයේ බෞද්ධ සිද්ධස්ථාන සතු ඉඩම් වල පවා මුස්ලිම් ආගමික සිද්ධස්ථාන ඉදිකොට තිබෙනවා. මේ දෙපිරිස අතර ජාතිවාදී අර්බුදයක් නැහැ. නමුත් ඇතමුන් එවැනි ගැටලුවක් පවතින බව උළුප්පා පෙන්වා දෙනවා. මහා සංඝරත්නය කිසිදු අවස්ථාවක මුස්ලිම් ජනතාවට පහර දෙන්නේවත් පහර දෙන ලෙස උපදෙස් දෙන්නේ වත් නැහැ. නමුත් අපට සැකයක් තිබෙනවා, භික්ෂුන් වහන්සේ වශයෙන් වෙස් ගැන්වූ පිරිස් මේ සදහා යොදවා තිබුණා ද ලෙස. තෙල්දෙණිය ගැටුම සිංහළයන්ගේ සංවිධානාත්මක කාර්යයක් ලෙස පැවසීම නිවරැදි නැහැ. සංවිධානගත වීමට හෝ සැලසුම් සකස් කිරීමට ඔවුන්ට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ.

මාර්ගයේ රියදුරන් දෙදෙනෙකු අතර ඇතිවු ගැටුමක් ඔවුන් සමථයට පත් කර ගැනීමෙන් පසු බීමත් පිරිස කළ පහරදීම නිසා සිංහළ තරුණයෙකු මරණයට පත්වුණා. මේක සිද්ධියක් පමණක් වන නමුත් ජාතිවාදී අරගලයක් නොවෙයි. සිංහළ බෞද්ධයන් මනා හික්මීමෙන් යුතුව ක්‍රියා කළා. මෙවැනි අර්බුද මතු නොවන ලෙස ක්‍රියාකළ යුතු ආකාරය අප ආණ්ඩුවට පෙන්වා දුන්නා. නමුත් අප කරන යෝජනා දෙස ආණ්ඩුව බලන්නේ දේශපාලන කෝණයෙන්. ඔවුන් සෑම දෙයක්ම දේශපාලනයක් බවට පත් කර ගන්නවා. ඒ නිසා සමාජීය ගැටලු සදහා නිශ්චිත සාධාරණ විසදුම් ඉදිරිපත් කිරීම ගැටලු සහගතයි.

ජාතිවාදි අරගල නොමැති නමුත් ඒ සදහා මග පෑදෙන යම් යම් සුළු සිද්ධින් මග හරවා ගත යුතු ආකාරය පිළිබදව යෝජනාවලියක් ඉදිරිපත් කොට තිබුණා. අස්ගිරි මහා විහාරයේදී රැස්වූ ත්‍රෛයිනිකායික මහා සංඝරත්නය මේ පිළිබදව සාකච්ඡා කර විසදුම් ආණ්ඩුවට ඉදිරිපත් කළා. විශාල ලෙස සිදුවන වන සංහාරය, වද පෙති පිළිබද සිදුවීම් වැනි ඉතා පහසුවෙන් විසදාගත හැකි දෑ පාලනය නොකිරීම නිසා දෙපිරිස් අතර මතභේද උත්සන්න වෙනවා....."

මෙම ඇතිවූ සිද්ධිය ජාතිවාදී අර්බුදයක් වශයෙන් හුවා දැක්වීම සුදුසු නොවන බවත් ශ්‍රී ලංකාව තුළ මානම හිමිකම් උල්ලංඝනය කිරීමක් සිදු නොවුණු බවත්  අස්ගිරි පාර්ශවය වෙනුවෙන් එම පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් මෙම නියෝජිත පිරිස හමුවේ ප්‍රකාශ කළහ.

අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමි, රංගිරි දඹුලු රජමහ විහාරාධිපති පූජ්‍ය ගොඩගම මංගල හිමි, නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද හිමි ඇතුලු මහා සංඝරත්නය ද මේ අවස්ථාවට සහභාගී විය.

** SBS සිංහල වැඩසටහනේ මහනුවර වාර්තාකරු නදීක බණ්ඩාර වාර්තාකරයි **


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now