මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 2 වන අවසන් පූර්ව තරගය ලෙස ඊයේ (11/07) Birmingham හිදී එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවති තරගයෙන් එංගලන්තය කඩුලු 8 ක පහසු ජයක් අත්කරගනිමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබුවේය.
ඒ අනුව එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක එංගලන්තය මෙසේ අවසන් මහා තරගයකට සුදුසුකම් ලබන්නේ වසර 27 කට පසුවීම ද මෙහිදී සුවිශේෂී සිදුවීමකි.
ඔවුන් අවසන් වරට ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නේ 1992 වසරේදී වන අතර එහිදී පාකිස්තානය හමුවේ පාරජයට පත් විය.
ඊයේ තරගයේදී කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර පන්දුවාර 49 කදී සියලු දෙනා දැවී ලකුණු 223 ක් රැස් කිරීමට සමත් විය.
ඔස්ට්‍රේලියාවේ මුල් කඩුලු 3 ලකුණු 14 ක් ඇතුළත දවා ගැනීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වූ අතර ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කරන්නට ස්ටීව් ස්මිත් සමත් විය.
ඒ ලකුණු 85 ක් ලබා ගනිමිනි.
ජයග්‍රාහී ලකුණු 224 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 32 යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 2 කට ලකුණු 226 ක් ලබා ගනිමින් තරගයේ ජය සටහන් කළේය.
එහිදී එංගලන්තය වෙනුවෙන් Jason Roy ලකුණු 85 ක්ද Joe Root ලකුණු 49 ක්ද නායක Eoin Morgan ලකුණු 45 ක් ද ලබාගත්තේය.

අවසන් මහා තරගය
2019 එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට එංගලන්තය සමග නවසීලන්තය සුදුසුකම් ලබා තිබේ.
මෙම කණ්ඩායම් ද්විත්වය එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයකදී මුහුණ දෙන ප්‍රථම අවස්ථාව මෙය වේ.
ඊට අමතරව එම කණ්ඩායම් දෙකම මීට පෙර එක් දින ක්‍රිකට් ලෝක කුසලානයක් ජයග්‍රහණය කර නොතිබීම තවත් විශේෂත්වයකි.
ඒ අනුව මේ සියලු කරුණු හමුවේ එළඹෙන ජූලි 14 වන දින ක්‍රිකට් ක්‍රීඩාවේ රන් දෙවොල නම් වූ එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී ඉතිහාසයේ එක් දින ක්‍රිකට් ලෝක කුසලානයක් මෙතෙක් ජය නොගත් කණ්ඩායමක් ලෝක කුසලානයක පහස විඳිනු ඇත.


