SKIP TO MAIN CONTENT

ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීමේ පුරාණ චාරිත්‍රය සිදු කෙරෙන අයුරු.

Kandy Esala Perahara
Source: SBS Sinhala

2 min read

Published

By Madhura Seneviratne

Presented by Nadeeka Daya Bandara - Sri Lanka

Source: SBS Sinhala


Skip to article content

ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සඳහා කප් සිටුවීමේ පුරාණ චාරිත්‍රය අද (02/08)  අලුයම සිව් මහා දේවාලයන්හිදී සිදුකෙරිණි.

ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම පහ පසුවී මිනිත්තු දහයට යෙදුණු සුබ මොහොතින් උතුරු දිශාව බලා සිරිත් පරිදි පේ කොට තබන ලද "පණස" වෘක්ෂයේ ශාඛාවක් ගෙන නාථ, විෂ්ණු, පත්තිනි සහ කතරගම යන දේවාලයන් හි කප සිටුවීම පුරාණ චාරිත්‍රානුකූලව සිදු කෙරිණි.

ඇසළ පෙරහර මංගල්‍යයයේ පළමු චාරිත්‍රය කප් සිටුවීම වන අතර එය සිව්මහා දේවාලයන්හි සිදු කිරීමෙන් අපේක්ෂා කරනුයේ පෙරහරේ නියැලෙනවුන්ගේ ආරක්ෂාව හා සුබසෙත ප්‍රාර්ථනය සහ  උපද්‍රව රහිතව සියලු කාර්යයන් සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගැනීමට දේවාශිර්වාදය ලබාගැනීමය.

කප් සිටුවීම තුළින් නිසි කලට වර්ෂාව ලැබී දිවයිනේ සමෘද්ධිය සහ සෞභාග්‍යය ද ප්‍රාර්ථනා කරයි.

සිව් මහ දේවාලයන්හි කපු මහතුන් සිට වූ ‘කප’ වටා පංචතූර්යය නාදයෙන්, භක්ති ප්‍රණාමයෙන් දේවාභරණ වැඩමවා අභ්‍යන්තර පෙරහර දින පහක් පුරාවට පවත්වයි.

නමුත් මෙවර කප් සිටුවීම අගෝස්තු මස දෙවන දින ද පළමු කුඹල් පෙරහැර එම මස  පස්වන දින ද යෙදී ඇති බැවින් දින පහක් පුරාවට අභ්‍යන්තර පෙරහර පහක් පැවැත්වීමට නොහැකි නිසා එක් දිනයකදී පෙරවරුවේ සහ සන්ධ්‍යාවේ දේවාල අභ්‍යන්තර පෙරහර පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මහනුවර විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්ත, නාථ දේවාලයේ බස්නායක නිලමේ ගයාන් හීන්කෙන්ද, පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර සහ මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ ගැමුණු ටී.බී.වලිසුන්දර යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් එම දේවාලයන්හි ප්‍රධාන කපු මහත්වරුන් විසින් මෙම සාම්ප්‍රදායික චාරිත්‍ර ඉටු කරන ලදි.

මෙම අවස්ථාව දැක බලා ගැනීම සඳහා සැදැහැවතුන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now