SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ විසූ ජ්‍යෙෂ්ඨ ලේඛක ඩී. බී. කුරුප්පු මහතා දිවි සැරියට තිත තබයි.

D B kuruppu passed away
Source: SBS

2 min read

Published


Skip to article content

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර විසූ ජ්‍යෙෂ්ඨ ලේඛකයෙකු සහ සමාජ ක්‍රියාකාරියෙකු වූ ඩී. බී. කුරුප්පු මහතා ඔස්ට්‍රේලියානු වේලාවෙන් ඊයේ (23/04) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

හදිසි රෝගාතුරවීමක් හේතුවෙන් මෙල්බන් නුවර Maroondah රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ.

1927  වසරේ උපත ලැබූ කුරුප්පු මහතා මිය යන විට  90 වන වියෙහි පසු විය.

ඔස්ට්‍රේලියාවේ සිට විවධ විෂයයන් මූලික කරගනිමින් ග්‍රන්ථ රචනා කළ ඒ මහතා ඔස්ට්‍රේලියාවේ පළ වන ප්‍රජා පුවත්පත් කිහිපයකටම පාහේ ලිපි සපයමින් මෙරට ශ්‍රී ලංකික ප්‍රජාවට මහත් සේවයක් සැපයීය.

1963 වසරේ ඔහු විසින් රචිත “මැන්චෝසන් චාරිකා” යන කෘතිය ප්‍රකාශයට පත් ඔහුගේ ප්‍රථම  කෘතිය ලෙස වාර්තා වන අතර ඉන් අනතුරුව හෝචිමින්ගේ සිරගෙයි දිනපොත, අසහනය, බක්මහ උළෙල, ලංකාවක් වගේ පුංචි, පීතු පාදන්, කයිරෝව කුඩා නගරයකි, අන්තිම උපන්දින සාදය, සංගම්කාරයාගේ මළගම, සිංගරු සිරිත, නරා වළ සහ කළු හිල, විප්ලවය ආවොත්, අර්ධනාරී, හැන්දෑවට පායන තරු, හිරෝෂීමා දිනපොත, ටික්කගේ වික්‍රමය, පිරිමි ජාතිය උතුම් ජාතිය යනාදී ග්‍රන්ථ රාශියක් ඔහු අතින් ලියැවිණි.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී එළි දැක්වුණු “ඉලපත, බාල්දිය, කොස්ස සහ පිරිත් නූල” කෘතිය ඔහුගේ අවසාන කෘතිය බවට පත් විය.

ලේඛකයෙකු ගේ භූමිකාවට අමතරව ඔහු සමාජ ක්‍රියාකාරිකයෙකුගේ භූමිකාවද ඔස්ට්‍රේලියාව තුළ ප්‍රබලව රඟ දැක්වීය.

ඔස්ට්‍රේලියානු ආදි වාසීන් ගේ හිමිකම් පිළිබඳ සැම විටම හඬ නැගූ කුරුප්පු මහතා ඔස්ට්‍රේලියානු ආදි වාසීන් පිළිබඳ සහ ඔවුන්ගේ ජනකතා ආශ්‍රිතව කෘති සහ ලිපි සම්පාදනය කළේය.

සාම්ප්‍රදායික සිතුවිල්ලෙන් මිදී සැමවිටම රැඩිකල්වාදී ඇසින් ලෝකය දෙස බැලු ඔහු මිත්‍යාවට දැඩි ලෙස පහර ගැසුවේය.

ඔස්ට්‍රේලියාවේ දශක ගණනාවක් වෙසෙමින් මෙරට ශ්‍රී ලාංකික ප්‍රජාවට ඔහුගෙන් ඉටුවුණු මෙහෙයට SBS සිංහල ගුවන් විදුලියේ ප්‍රණාමය මෙසේ පුද කර සිටිමු. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now