ඒකාධිපති බලතල සීමා කරන බව ප්‍රකාශ කරමින් බලයට පත් ජනපති මෛත්‍රී යළි විධායක බලය ඉල්ලමින් විවිධ ප්‍රකාශ සිදුකිරීම අවාසනාවන්ත තත්ත්වයක් : අධිනීතිඥ ලාල් විජේනායක

Lal Wijenayake

Source: SBS Sinhala

ඒකාධිපති බලතල සීමා කරන බව ප්‍රකාශ කරමින් බලයට පත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යළි විධායක බලතල ඉල්ලමින් විවිධ ප්‍රකාශ  සිදුකිරීම අවාසනාවන්ත තත්ත්වයක් බව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ මහජන අදහස් ලබා ගැනීමේ කමිටුවේ සභාපති අධිනීතිඥ ලාල් විජේනායක මහතා පවසයි.

ස්වාධීන ආයතන සඳහා තමන්ට අවශ්‍ය අය පත් කිරීමට නොහැකි බවත්, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි බවත් පවසන ජනාධිපතිවරයා මේ උත්සහ කරන්නේ පෙර විධායක ජනාධිපතිවරුන් ක්‍රියාකළ අයුරින් පාර්ලිමේන්තුව ප්‍රාණ ඇපයට ගෙන ක්‍රියාකිරීමට නොහැකි වීමේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කිරීම බවද ඒ මහතා පැවසුවේය.

මේ තුළින් ජනතාව ඉල්ලා සිටි ස්වාධීන පාලන තන්ත්‍රය වෙනුවට යළි ඒකාධිපති පාලනයක් බිහි විය හැකි බව වධහිංසනයට ලක්වූවන්ගේ ජාත්‍යන්තර දින සැමරුමට සමගාමීව මහනුවර මානව හිමිකම් කාර්යාලය පසුගිය ජුනි 29 වන දින සංවිධානය කළ සැමරුම් උත්සවයට විශේෂ ආරාධිතයකු වශයෙන් සහභාගීවෙමින් ලාල් විජේනායක මහතා සදහන් කළේය.

අද වන විට මෙරට  ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා වී තිබෙන්නේ දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහ එහි පාලනය ස්වාධීන කොමිෂන් සභාව වෙත පැවරී තිබීම නිසා යැයි කී ඒ මහතා තවදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.

Lal Wijenayake
Source: SBS Sinhala

"පොලිසිය ස්වාධීන කරන්න කටයුතු කර තිබෙන්නේත් දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. මේ නිසා අමාත්‍යවරයෙකුගේ බිරිඳ හා දියණිය පවා නීතිය හමුවට පැමිණවීමට තරම් පොලිසිය අද ස්වාධීන තත්ත්වයට පත්ව තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්යය මණ්ඩල ප්‍රධානියාව අත්අඩංගුවට ගැනීමට හැකිවුණා. පසුගිය අගෝස්තු විසිඑක් වන දින මෙරට ඇතිවූ දේශපාලන කුමන්ත්‍රණයේදී අධිකරණයට ස්වාධීනව කටයුතු කිරීමට හැකි වුණේ මේ නිසයි. නමුත් අවාසනාවට කාරණය වන්නේ මේ සටන අනිත් පැත්තට හැරීමට රටේ ප්‍රධානියා වන ජනාධිපතිවරයා ක්‍රියාත්මක වීමයි. දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනෙක් පැත්තට හරවන්න කියා දැන් ජනාධිපතිවරයා කියනවා. ජනාධිපතිවරයාම කියනවා මට ලක්ෂ හැට දෙකක ජනතාව ඡන්දය දුන්නා කියා. ජනතාව ඡන්දය ලබා දුන්නේ දහනව වන ආණ්ඩුකම ව්‍යවස්ථාව ගෙන එන්න කියමින්. එහි තිබෙන විධිවිධාන ගෙන එන්නැයි කියමිනුයි, ජනතාව ඡන්දය දුන්නේ. අපට ස්වාධීන කොමිෂන් සභා අවශ්‍ය යැයි ජනතාව කිව්වා. ජනාධිපති වරයාගේ බලතල අඩු කරන්නැයි කිව්වා. එම බලතල පාර්ලිමේන්තුවට දෙන්න කිව්වා. ඒවා තමයි ජනතාව ඉල්ලා සිටියේ. දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් සිදු කළේ ජනතාව ඉල්ලා සිටි කරුණුයි."

ජනාධිපතිවරයා එසේ පවසනවානම් එය නිවැරදි නැති බවත් මන්ද ජනතාව මේ තුළින් නොමඟ යන බවත් විජේනායක මහතා සදහන් කළේය.

"මගේ බලය අරගෙන අග්‍රාමාත්‍යවරයාට දෙන්න යනවා යැයි කීවත් දහනව වන සංශෝධනය තුළ එවැන්නක් සිදු වන්නේ නැහැ. ඇමතිවරු නම් කිරීමේ බලය පමණයි ජනාධිපතිවරයා සතු බලතල වලින් අග්‍රාමාත්‍යවරයා වෙත පැවරී තිබෙන්නේ. 18 වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය තුළ තිබුණු පත්කිරීමේ බලය  ව්‍යවස්ථා සංශෝධනය අනුව ව්‍යවස්ථා සභාවක් වෙත පැවරෙනවා. එම ව්‍යවස්ථා සභාව කතානායක, විපක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සෙසු සුලු පක්ෂ නියෝජිතයින්  ඇතුළු පිරිසකගෙන් සමන්විතයි. පෙර සමයේ දී මෙම පත්වීම් සියල්ලම සිදු කළේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින්. එම ව්‍යවස්ථා සභාව මගින් පොලිස් කොමිසන් සභාව, අධිකරණ කොමිෂන් සභාව, මානව හිමිකම් කොමිෂන් සභාව වැනි ආයතන වල ප්‍රධානීන් පත්කරනවා. මේ තුළින් ඒ ක්‍රියාදාමය ඉතාමත්ම ස්වාධීන අයුරින් සිදු කිරීමයි අපේක්ෂා කරන්නේ."

"මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද පත් කිරීම ස්වාධීන වුණේ නැහැ. අගවිනිසුරුතුමා,  අභියාචනාධිකරණයේ සභාපතිතුමා, නීතිපතිතුමා වැනි පත්කිරීම් පෙර සමයේ දී සිදු කළේ ජනාධිපතිවරයා විසින්. ඒ නිසාම තමයි ජනාධිපතිවරයා ඒකාධිපති තත්ත්වයකට පත්වුණේ. ඒ පත්කිරීමේ බලතල තමයි දහනම වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ව්‍යවස්ථාදායක සභාව වෙත පැවරුණේ. එමෙන්ම තමන්ට අවශ්‍ය ඕනෑම වෙලාවක ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් පෙර තිබුණා. මේ නිසා ජනාධිපතිවරු පාර්ලිමේන්තුව ප්‍රාණ ඇපයට තබාගෙනයි ක්‍රියාකළේ. තමන්ට විරුද්ධව පාර්ලිමේන්තුව යනවා නම්,  විසුරුවා හරින බවට ජනාධිපතිවරයා තර්ජනය කරනවා. ඒ නිසා මුළු පාර්ලිමේන්තුවම ජනාධිපතිවරයාට යටත් වෙලයි සිටියේ. මේ නිසා දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාගෙන් අරගෙන පාර්ලිමේන්තුවටම ලබා දුන්නා."

Lal Wijenayake
Source: SBS Sinhala

"පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා නම් පළමු වසර හතර හමාරක කාලය තුළ එය ජනාධිපතිවරයාට සිදු කළ නොහැකි බවත්, විසුරුවා හැරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක බහුතර කැමැත්තක් ලබාගත යුතු බව නව ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් වෙනවා. ඒකාධිපති බලතල ජනාධිපතිවරයාගෙන් අරගෙන මහජනයා විසින් පත්කරන ලද පාලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ ව්‍යවස්ථාදායක සභාව වෙත පවරා දීමයි සිදු කර තිබෙන්නේ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව තමන්ට විසුරුවා හැරීමට නොහැකි නිසාත්  පාර්ලිමේන්තුව ප්‍රාණ ඇපයට ගෙන ක්‍රියා කිරීමට නොහැකි නිසාත් සිය දුක්ගැනවිල්ල ඉදිරිපත් කරනවා. අගවිනිසුරු,  විනිශ්චයකාරවරු, ස්වාධීන පොලිස් කොමිෂන් සභාව, පත් කිරීමට සහ ඒවාට ඇඟිලි ගැසීමට නොහැකි බවයි ජනාධිපතිවරයා සිදුකරන පැමිණිල්ල. දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අපට සිදු කිරීමට අවශ්‍ය උනෙත් එය තමයි. ඒ නිසා මේකට විරුද්ධව නැගී සිටීම අප විසින් කළ යුතුයි."

මේ තත්ත්වය ආපසු හැරවීමට උත්සාහ කරනවා යනු ශ්‍රී ලංකාව 2015 ජනවාරි 08 වන  දිනට පෙර පැවති පාලන තත්ත්වයට පත්වීමක් බවද විජේනායක මහතා වැඩි දුරටත් පැවසුවේය.

තවමත් මානව හිමිකම් ආරක්ෂා කිරීම,  ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ මෙරට වැඩපිළිවෙළ සම්පූර්ණ වී නැහැ.  නමුත් දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එම වැඩපිළිවෙළේ එක් හැරවුම් ලක්ෂයක් යැයි  නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබද මහජන අදහස් ලබා ගැනීමේ කමිටුවේ සභාපති අධිනීතිඥ ලාල් විජේනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මහනුවර මානව හිමිකම් කාර්යාලයේ අධ්‍යක්ෂ නන්දන මනතුංග පියතුමා,  ‍ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකාරක කුමුදුනී විතාන මහත්මිය ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

පොලීසිය හා අධිකරණය මගින් වධහිංසනයට පත්වූ කිහිපදෙනෙකු සිය ගැටලු හා එය නිරාකරණය කිරීමට නීතිය ඉදිරිපත් නොවීම පිළිබදව මෙහිදී අදහස් දැක්වූහ.


5 min read

Published

By Madhura Seneviratne


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now