SKIP TO MAIN CONTENT

නව ව්‍යවස්ථාවෙන් ලංකාව ෆෙඩරල් වන බවට දේශප්‍රේමී භික්ෂු සංගමයෙන් චෝදනා.

Politics of Sri Lanka
Source: SBS

2 min read

Published

Updated

By Madhura Seneviratne, Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

යෝජිත නව ව්‍යවස්ථාව හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඒකීයත්වය බිද වැටී රට ෆෙඩරල් පාලන ක්‍රමයකට යොමුවන බව දේශප්‍රේමී භික්ෂු සංගමය පවසයි.

දෙමළ ජාතික සන්ධානය නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව දැඩි ලෙස පෙන්වා දුන්නද  දේශප්‍රේමී දමිළ ජනතාව පවා මෙම නව ව්‍යවස්ථාවේ අහිතකර අංග පිළිබදව අවබෝධයෙන් පසුවිය යුතු යැයි දේශප්‍රේමී භික්ෂු සංගමයේ මහ ලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ.

යෝජිත නව ව්‍යවස්ථාවට එරෙහිව දේශප්‍රේමී භික්ෂු සංගමය, රුහුණු රට භික්ෂු පෙරමුණ හා චින්තන පර්ෂදයේ සංවිධානත්වයෙන් පසුගිය ඔක්තෝබර් 25 වන දින මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී අධිෂ්ඨාන පුජාවක් පැවැති අතර ඉන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී  එම සංගමයේ මහ ලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ මේ බව පැවසූහ.

නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම, ව්‍යවස්ථා කෙටුම්පතක් සම්මත කිරීම හෝ අවශ්‍ය නොවන බවත් යම් අයුරකින් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් එවැනි යමක් සිදුකළ හොත් ඒ තුළින් ශ්‍රී ලංකාවේ ඒකීයත්වය බිදී යන බව කී උන්වහන්සේ මෙසේ ද සදහන් කළහ.

"රටට ආදරය කරන පිරිස් මේ යෝජිත ව්‍යවස්ථාවට එරෙහිව පෙළ ගැසෙනවා. දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීම් ඉටු කොට ශ්‍රී ලංකාව දෙමළ ඊළාම් රාජ්‍යයක් බවට පත් නොකළ යුතුයි. නව ව්‍යවස්ථාව තුළින් සිදුවන්නේ රට දෙකඩවීම පමණයි. මේ කාර්යය සදහා සියලු දේශපාලන පක්ෂවල එකමුතුවක් අවශ්‍යයි. ජනතා විමුක්ති පෙරමුණ මොනවා කරනවාද දන්නේ නැහැ. ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය වැනි පක්ෂ මේ පිළිබදව නිසි අවධානය යොමු කොට පාර්ලිමේන්තුවේදී නව ව්‍යවස්ථාව පරාජය කළ යුතුයි. ඇතැම් විට ව්‍යවස්ථාව වෙනුවෙන් ඡන්දයක් පැවැත්වුවහොත් මන්ත්‍රීවරුන් ඊට විරුද්ධ විය යුතුයි."

නව අණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුමත කිරීමට ඡන්දය ප්‍රකාශ කරන මන්ත්‍රීවරුන් ඉදිරි මැතිවරණවලදී ඡන්දය ඉල්ලමින් යළි ගමට නොපැමිණිය යුතු යැයි දේශප්‍රේමී භික්ෂු සංගමයේ මහ ලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

රුහුණුරට භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ඕමාරේ කස්සප හිමි, චින්තන පර්ෂදයේ මහාචාර්ය නලින්ද සිල්වා මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now