රියදුරන් දෙදෙනෙකුගේ ගැටුමක් ජාතිවාදී ගැටුමක් බවට පත් නොවන ලෙස සියලු ජාතීන් බුද්ධිමතව ක්‍රියාකළ යුතු යැයි මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසිරි හිමියෝ සදහන් කළහ.
මනුෂ්‍යයාද ඇතුලුව සියලු සතුන් මරණයට බිය බව මනාව අවබෝධ කර ගනිමින් සියලු ජාතීන් සහෝදරත්වයෙන් ජීවත්වීම වඩා වැදගත් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පසුගිය මාර්තු 09 වන දින මහනුවර මහයියාවේදී පැවැති සාකච්ඡාවකදී අනුනායක හිමියන් මේ බව කීවේය.
මල්වතු හා අස්ගිරි පාර්ශවයන් ඇතුලුව මහා සංඝරත්නය ද ඉස්ලාම් හා හින්දු ආගමික ආගමික නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ සාකච්ඡාව පැවැත්විණි.
මහනුවර අවට ඇතිවූ ගැටුම් යළි මතු නොවන ලෙස සාකච්ඡා කොට බුද්ධිමත්ව ක්‍රියා කිරීම වැදගත් යැයි කී අනුනායක හිමියෝ මෙසේ සදහන් කළහ.
"සිංහළ බෞද්ධයන්ගේ සිත් තුළ යම් පීඩනයක් තිබුණා. ඒ පීඩනය මතුවූ තත්ත්වයක් දැකිය හැකියි. නමුත් මහා සංඝරත්නය මෙම ගැටුම් වැළැක්වීම සදහා මහජනයාට උපදෙස් ලබා දුන්නා. නමුත් සුළු පිරිසක් ඒ උපදෙස් නොතකන බවක් ද දැකිය හැකියි. සංඝයා වහන්සේ යම් පණිවුඩයක් සමාජයට ලබා දෙන විට බෞද්ධයන් ඊට අවනතයි. ඒ පෞර්ෂය සකස් කර ගත යුතුයි. සිංහළ බෞද්ධයන්ට වෙනත් ජාතීන් සමග ගැටුම් ඇති කර ගැනීමට අවශ්‍යතාවයක් නැහැ. අස්ගිරි මහා විහාරයේ අවුරුදු 700 සංවත්සරය සදහා සංවර්ධන කටයුතු වලදී මාර්ගය පුළුල් කිරීමට අවශ්‍යවුණා. එහිදී මුස්ලිම් පල්ලිය අසලින් ඉඩ ලබා ගැනීමට අවශ්‍යවූ විට දෙපාර්ශවය සාකච්ඡා කොට ඉතා අවබෝධයෙන් යුතුව මාර්ගය පුළුල් කර ගත්තා. එය ගැටුමක් බවට පත් කර ගැනීමට අවශ්‍ය නැහැ. සාකච්ඡා කොට පහසුවෙන් විසදා ගත හැකියි. මහනුවර ගනි ගන්නවා යැයි ඇතමුන් ප්‍රකාශ කරනවා. නමුත් එවැන්නක් නැහැ. යුද්ධ ටැංකි ගේන්න මහනුවර යුද්ධයක් නැහැ. ජනතාව බිය වැද්දීමට අවශ්‍ය නැහැ. එසේ නොකර අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතුයි."
"අනුරාධපුර යුගයේ සිට සියලු ජාතීන් සමග ජීවත්වූ අපට සංහිදියාව යන වචනය අමුතුවෙන් කියා දිය යුතු නැහැ. සිංහළයන් සමග කළ යුද්ධයකදී මරණයට පත් එළාර රජුගේ සොහොනට පවා ගරු කිරීමට සිංහලයන් කටයුතු කළා. සිංහළයන් යනු නිවටවීමට අකමැති, තුවක්කුවට වුවත් නොබියව මුහුණ දෙන ජාතියක්. යක්ෂ, නාග, දේව, රාක්ෂ සිව් හෙළයෙන් යුතුව අවුරුදු 2500ක ඉතිහාසයෙන් යුතු අපගේ ජාතියට මේ දක්වා පැවැති සංස්කෘතිය අමතක කොට එකවරම සර්ව ආගමික යන සංකල්පයට පැමිණීම අපහසුයි. අනුරාධපුර යුගයේ පැවැති සංස්කෘතිය නොවෙයි අද ක්‍රියාත්මක වන්නේ. බුරුමය, බංගලාදේශය වැනි බෞද්ධ රටවල බෞද්ධයන්ට අත්වූ ඛේදනීය ඉරණම ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ට ද සිදුවෙතැයි බොහෝ අය තුළ බියක් පවතිනවා. නමුත් ශ්‍රී ලංකාවේ සුළු ජාතීන් වෙනුවෙන් අද බලගතු අවස්ථා ලබාදී තිබෙනවා. රටේ ප්‍රබල අමාත්‍යධූර පවා හිමිවී තිබෙන්නේ සුළු ජාතීන්ට පක්ෂපාතී වන අයුරින්.
1960දී මහනුවර පරණ මාතලේ මාර්ගයෙන් මහනුවර නගරය දක්වා ගමන් කරන විට දැකිය හැකිවූ හුලංගමුව, එල්ලාවල, දුනුවිල, මඩුගල්ල වැනි පෞරාණික වලව් කීයක් නම් අද සිංහලයාට අහිමි වෙලා ද? රට තුළ ඔබතුමාලාට එවැනි තත්ත්වයක් ඇතිවුණාට සිංහළයන්ට ඒ පිළිබදව කිසිදු ඊර්ෂ්‍යාවක් නැහැ. නමුත් සිංහල ජාතියට සිය අයිතිවාසිකම් හිමි විය යුතුයි." අස්ගිරි පාර්ශවයේ අනුනායක වේඩරුවේ උපාලි හිමියන් ද අදහස් දක්වමින් පවසා සිටියේය.
කුමන ආගමක වුවද දේශනා කරන්නේ ධාර්මිකව ජීවත් වන ලෙසයි. ශ්‍රී ලංකාව තුළ එසේ වුවත් අද වන විට ජාත්‍යන්තරයට පෙන්වා දී තිබෙන්නේ සිංහළ ජාතිකයන් වෙනත් ජාතීන්ට හානි කරමින් සිටින බවයි. රටට අහිතරක මෙම ප්‍රතිරූපය වෙනස් කළ යුතුයි. ඒ සදහා සියලු ජාතීන් එක්ව වැඩපිළිවෙලක් දියත් කළ යුතු බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමියන් එහිදී පෙන්වා දුන්නේය.
"අපි කැමැති ශ්‍රී ලාංකිකයන් ලෙස ජීවත්වීමට මිස බටහිර හෝ අරාබි වශයෙන් නොවෙයි. කුසගින්න දැනුනු විට ආහාර සොයා අපි අරාබියට යන්නේ නැහැ. මේ ජාතිවාදී අර්බුදය නිසා දරුවන්ට කන්න දෙයක් තිබුණේ නැහැ. ථෙරවාදී බුදුදහම පවතින මේ රටේ ඊට වඩා උඩින් අප යන්නේ නැහැ. කුඩා කළ ජම්බු, වෙරළු, අඹ කන්න අපි යන්නේ පන්සලට. පන්සලේ හාමුදුරුවන් ඒවා අපිට ලබා දෙනවා. ඒ ගෞරවය අපට තිබෙනවා. නමුත් ඇතමුන් හාමුදුරුවෝ නොමැති අවස්ථාවල පන්සල් වත්තේ ඇති දෑ සොරකම් කරනවා. රෙදි පොට්ටනියක් හිසේ තබා වෙළදාමේ පැමිණි මුස්ලිම් වෙළෙන්දෝ අද සුප්‍රසිද්ධ වෙළද ව්‍යාපාර දක්වා දියුණූ වුණේ ඔබ වහන්සේලාගේ ආශිර්වාද නිසයි. ආහාරවලට පෙති දමා විකුණනවා කියන කථාව අසත්‍යයක්. ඒ පිළිබදව විද්‍යාත්මක පරීක්ෂණ පවත්වන්න කියා ඉල්ලා සිටිනවා. අනුන්ට වළ කපනවා නම් මුලින්ම එහි වැටෙන්නේ වළ කැපූ පුද්ගලයායි. එයයි අපේ ඉගැන්වීම. අපි අලෙවිකරන ආහාර අපේ දරුවනුත් කනවා. එහෙනම් මුලින්ම හානි විය යුත්තේ අපිටයි. කිසිදු අවස්ථාවක අපි ඔබ වහන්සේගේ ආශිර්වාදයෙන් එහා යන්නේ නැහැ" යනුවෙන් මහනුවර ප්‍රධාන ඉස්ලාම් පූජක ෆස්රුල් රහුමාන් මෞලවිතුමා එහිදී අදහස් කළේය.

