SKIP TO MAIN CONTENT

70% ක් බෞද්ධයින් වෙසෙන ලඩාක් ප්‍රදේශය වෙනම ප්‍රාන්තයක් ලෙස නම් කිරීමට ඉන්දීය මධ්‍යම රජය ගත් තීන්දුවට මල්වතු - අස්ගිරි මහ නා හිමිවරුන්ගේ ප්‍රසාදය.

Malwathu and Asgiri Chapters appreciate Indian Government’s decision about Ladakh Province.
Source: Flickr

2 min read

Published

By Madhura Seneviratne

Presented by Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

බෞද්ධයින් සියයට හැත්තෑවක් පමණ ජීවත් වන ලඩාක් (Ladakh)ප්‍රදේශය වෙනම ප්‍රාන්තයක් ලෙස නම් කිරීමට ඉන්දීය රජය ගත් පියවර සම්බන්ධව බෞද්ධ රටක් ලෙස ශ්‍රී ලංකාව ඉමහත් සතුටට පත්වන බව මල්වතු - අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම නිවේදයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිති.

බුද්ධෝත්පත්තිය සිදුවූ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවත්නා ආගමික,දේශපාලනික හා සංස්කෘතික සම්බන්ධතා මේ හේතුවෙන් තව තවත් ශක්තිමත් වනු ඇතැයිද උන්වහන්සේ ලා පවසති.

මල්වතු - අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම උන්වහන්සේලාගේ අත්සනින් යුතුව මේ සම්බන්ධව නිවේදන දෙකක් වෙන් වෙන්ව නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර සිටියෝය.

"විවිධ ජාතීන්,ආගමිකයින් වෙසෙන භාෂාවන් රැසක් කතා කරන ඉන්දියාවේ ඇති සහජීවනය  මැනවින් ආරක්ෂා කොට වර්තමානයෙහි 70% ක පමණ බෞද්ධයින් ජීවත් වන ලඩාක් ප්‍රදේශය වෙනම ප්‍රාන්තයක් ලෙස නම් කිරීමට ඉන්දීය රජය ගෙන තිබෙන තීරණය පිළිබඳව බෞද්ධ රටක් ලෙස අපි බෙහෙවින් සතුටු වන්නෙමු. ශ්‍රී ගෞතම සම්මා සම්බුදු රාජණන් වහන්සේගේ උත්තපත්තියෙන් පාරිශුද්ධ වූ භාරත දේශය හා ශ්‍රීලංකාව අතර ඇත්තේ දීර්ඝ කාලීන අවිච්ඡින්න සම්බන්ධාවකි. බුදුරජාණන් වහන්සේ තෙවරක්ම ලක්දිවට වැඩම කිරීමෙන් හා ධර්මාශෝක මහ රජාණන්ගේ පුත් මිහිඳු මහ රහතන් වහන්සේ ගෙන් නිර්මල ථෙරවාදී බුදු දහමට ශ්‍රී ලංකාවට දායාද කිරීමෙන් ශ්‍රීලංකාවේ බෞද්ධාලෝකය මෙන්ම සංස්කෘතික පුනරාලෝකයද ඇති විය. ධර්ම සාහිත්‍යයේ අභිවර්ධනයටද එය හේතු විය. බෞද්ධයින් බහුතරයක් වාසය කරන ලඩාක් ප්‍රදේශය වෙනම ප්‍රාන්තයක් ලෙස නම් කිරීම කළ මෙම අවස්ථාවේ එහි වාසය කරන ජනතාවගේ ජීවිත සුඛිත මුදිත වේවායි ප්‍රාර්ථනා කරමු." යනුවෙන් මල්වතු පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

ලඩාක් ප්‍රාන්තයේ ජීවත් වන ජනතාව අතරින් 70% ක්  බෞද්ධයින් වීම පදනම් කර ගනිමින් එය වෙනම ප්‍රාන්තයක් ලෙස නම් කිරීම අගය කරන අතරම ඒ සම්බන්ධව බලවත් සේ සතුටට පත්වන බව අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සිය නිවේදනය මගින් පවසා ඇත.

මේ හේතුවෙන් ලෝකවාසි බෞද්ධ ජනතාවට මෙම ප්‍රදේශයට ගොස් බෞද්ධාගමික පූජනීය ස්ථාන සියැසින් දැක වන්දනා මාන කිරීමට විශාල අවකාශයක් ලැබෙනු ඇතැයිද  එහි සඳහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now