මහනුවර ඇසළ පෙරහැර මහා සංස්කෘතික මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කරමින් කප් සිටුවීමේ පුරාණ චාරිත්‍රය සදහා කප කැපීම අද (අගෝස්තු 01) ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම අලුත්නුවර දී සිදුවිය.
මහනුවර විෂ්ණූ දේවාලය හා අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය ඒකාබද්ධව අලුත්නුවර ප්‍රදේශයේ තෝරා ගත් කිරි සහිත ඵල නොදැරූ ගසක් රිදී පොරවකින් කැපීම මෙහිදී සිදුවිය. මේ අවස්ථාවේදී එම වෘක්ෂය හදුන්වනු ලබන්නේ පනස වෘක්ෂය වශයෙනි.
මහනුවර විෂ්ණූ දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්තේ මහතා විසින් වාන්නක්කු රාළ වෙත රිදී පොරව භාර දී පනස වෘක්ෂය කැපීම සදහා අවසරය ලබා දෙන ලදි. මහා සංඝරත්නයේ පිරිත් සඤ්ඤායන මධ්‍යයේ අලුයම හතර පසුවී මිනිත්තු තිස් තුනට යෙදුණූ සුභ මොහොතින් දකුණු දිශාව බලා පනස වෘක්ෂය කැපීම සිදුවිය. අනතුරුව සකස් කරන ලද එම කප සුදු රෙදි කඩින් ඔතා සුදු උඩු වියන් සහිත මහ පෙරහැරින් මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලය කරා ඇතු පිටින් වැඩම කිරිම සිදුකෙරිණි.
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සදහා කප් සිටුවීමේ පුරාණ චාරිත්‍රය හෙට (අගෝ 2) පෙරවරු පහ පසුවී මිනිත්තු දහයට යෙදෙන සුභ මොහොතින් නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන දේවාලයන්හිදී උතුරු දිශාභිමුඛව සිදුවේ.
කප් සිටුවීමෙන් අනතුරුව පුරා දින පහක් දේවාල අභ්‍යන්තර පෙරහැර පැවැත්වේ. අගෝස්තු පස්වන දින කුඹල් පෙරහැර ආරම්භ වී දින පහක් වීදි සංචාරය කරන අතර අගෝස්තු දස වන දින රන්දෝලි පෙරහැර ආරම්භ වේ.
අගෝස්තු 07 වන දින නිකිණි පුරපසළොස්වක පෝය දින අවසන් රන්දෝලි පෙරහැර වීදි සංචාරය කරන අතර පසුදින දහවල් පෙරහැර සමගින් මෙවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍ය නිමාවට පත්වේ.
** SBS සිංහල සේවයේ වාර්තාකරු නදීක දයා බණ්ඩාර මහනුවර සිට සැපයු තොරතුරු ඇසුරිනි

