අධික බදු බර හේතුවෙන් දේශීය සිනමා කර්මාන්තය පවත්වා ගෙන යාමේ බරපතල ගැටලුවක් නිර්මාණය වී ඇතැයි සදහන් කරමින් කලාකරුවන් පිරිසක් මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් වෙත සන්දේශයක් භාර දීමට පසුගියදා කටයුතු කළහ.
නව බදු පනත හේතුවෙන් දේශීය නිර්මාණ සදහා අවස්ථා කිහිපයකදී බදු මුදල් ගෙවීමට සිදුවන බවත්, මේ හේතුවෙන් වියදම් අවමවූ නිර්මාණ කිරීමට නිෂ්පාදකයා පෙළඹෙන බවත් පසුගියදා මහා නායක හිමියන් බැහැ දැකිමින් "නිදහස් කලා සන්ධානයේ" කැදවුම්කරු, ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණ මහතා සඳහන් කළේය.
2017 අංක 24 දරණ දේශීය ආදායම් පනත හේතුවෙන් ටෙලි නාට්‍ය, සිනමාව ඇතුලු කර්මාන්ත සදහා 14%ක බදු මුදලක් ගෙවිය යුතුව ඇතැයි මහා නායක හිමියන් හමුවේ කී සුදත් රෝහණ මහතා මෙමඟින් සිදුවියහැකි අගතිය පිළිබඳව මෙසේ කරුණු දැක්විය.
- මෙම බදු මුදල ගෙවිය යුත්තේ නිර්මාණය සදහා කරන වියදම අනුවයි. එවිට නිෂ්පාදකයා උත්සහ කරන්නේ අඩුම වියදමකින් නිර්මාණයක් එළි දැක්වීමටයි. එහිදී ඔහු ගුණාත්මය පිළිබඳව තැකීමක් කරන්නේ නැහැ. අඩු මුදලට යොදා ගත හැකි නළු නිළියන් යොදවා බාල තත්ත්වයේ නිර්මාණ බිහිවීම මේ තුළින් සිදුවිය හැකියි.
- විදේශවලින් ගෙන්වා හඩ කවන ලද ටෙලි නාට්‍ය හේතුවෙන් අද දේශීය සංස්කෘතිය විනාශවෙමින් පවතින අවධියක නව බදු පනත නිසා විදේශීය බොළද සිනමාවට වැඩි අවස්ථාවක් හිමිවිය හැකියි.
- නව බදු පනත සිනමාව, ටෙලි නාට්‍ය පමණක් නොව වේදිකා නාට්‍ය, සාහිත්‍ය, ගද්‍ය - පද්‍ය ආදී විවිධ දිශානතියන් වෙත පැතිරී තිබෙනවා. මේ හේතුවෙන් සමස්ථ කලාව බිඳවැටී බොළඳ නිර්මාණ රට පුරා ව්‍යාප්ත විය හැකියි.
- කලා ශිල්පියාට ස්ථීර ආදායමක්, සේවා සුරක්ෂිතතාවක් හෝ අර්ථසාධක අරමුදලක් හිමිවන්නේ නැහැ. තරුණ අවදියේ ඔහු උපයන මුදලින් තමයි සිය වයෝවෘද අවස්ථාවේ ජීවත්වීමට සිදුවන්නේ. නමුත් බදු පනත නිසා රුපියල් 50,000 ක ආදායමක් ලැබුවත් ඔහුට 5%ක පමණ බද්දක් ගෙවිය යුතුව තිබෙනවා.
- නව බදු පනත තුළින් මේ වන විට 2006 අංක 10 දරණ බදු පනත තුළින් කලා ශිල්පීන්ට හිමිවූ සහන ද හිමි නොවන බවද වාර්තා වනවා
.....යැයි "නිදහස් කලා සන්ධානයේ" කැදවුම්කරු සුදත් රෝහණ මහතා මහා නායක හිමියන් හමුවේ කියා සිටියේය.
මෙයට අදාල වීඩියෝව පහතින්
රෝහණ බැද්දගේ කලාකරුවාගෙන් ජනපතිට චෝදනා
මහා නායක හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ 'නිදහස් කලා සන්ධානයේ' සාමාජික රෝහණ බැද්දගේ මහතා පැවසුයේ නව බදු පිළිබදව ජනාධිපතිවරයා, අවස්ථා දෙකකදී සාකච්ඡා කොට සහනයක් ලබා දෙන බව දැනුම් දුන්නද මේ දක්වා විසදුම් නොලැබුණු බවයි.
මල්වතු මහා නායක හිමියන් බැදැ දැකීමෙන් අනතුරුව එම පිරිස, අස්ගිරි පාර්ශවයේ අනුනායක වේඩරුවේ උපාලි හිමියන් ද බැහැ දැක සිය ගැටලුව සදහන් සන්දේශයක් උන්වහන්සේ වෙත භාර දෙන ලදි.
මෙම අවස්ථාව සදහා රුවන්ති මංගලා, සේමිණී ඉද්දමල්ගොඩ, අනූෂා දමයන්ති, අජිත් ලොකුගේ, රත්නා සුමනපාල, ගාමිණී ජයලත් යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් සහභාගීවූහ.
නදීක දයා බණ්ඩාර - SBS සිංහල මහනුවර වාර්තාකරු සැපයු තොරතුරු ඇසුරිණි.

