Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

නව ව්‍යවස්ථාවක් සකස් කිරීම අනවශ්‍ය බව මල්වතු හා අස්ගිරි උභය මහා විහාරීය කාරක සංඝසභාව ඒකමතිකව තීරණය කරයි.

Malwathu Asgiri Maha Nayaka Capture Statement

Malwathu Asgiri Maha Nayaka Capture Statement Source: SBS Sinhala

වර්තමාන ව්‍යවස්ථා සම්පාදන කාර්යය තුළ නව ව්‍යවස්ථාවක් සකස් කිරීම අනවශ්‍ය බව මල්වතු හා අස්ගිරි පාර්ශවයන්හි මහානායක හිමිපාණන් වහන්සේගේ අනුදැනුම මත එම පාර්ශවයේ උභය මහා විහාරීය කාරක සංඝසභාව ඒකමතිකව තීරණය කළ බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පැවසූහ. 

ව්‍යවස්ථා සම්පාදනය තුළ ඇතිවන තත්ත්වය ඉතා භයානක වන බවත් මේ නිසා ජනවාර්ගිකත්වයට දැඩි බාධාවක් මතුවී ජාතීන් අතර ගැටුම් ඇතිවන තත්ත්වයක් නිර්මාණය විය හැකියැයි ඒ පිළිබදව ඊයේ (18) මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශයේ රන්ආයුධ මණ්ඩපයේදී පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය පිළිබදව අධ්‍යනය කළ බවත් මේ නිසා මීට පෙර අවස්ථා දෙකකදී මෙය වර්තමානයේදි අනවශ්‍ය කාර්යයක් යැයි කී ලේඛකාධිකාරී හිමිපාණන් මෙසේ ද සදහන් කළහ. 

''....මේ කමිටු වාර්තා ආදිය සලකාබලා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම මේ අවස්ථාවේදී උචිත නොවන බවයි අපගේ හැගීම. නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම මගින් අප ජාතීන් අතර බෙදීමක් ඇති වෙනවා. ජනතාව වෙන්වීමක් ඈත් වීමක් සිදුවිය හැකියි. ව්‍යවස්ථාව තුළින් යෝජනා කරන ඒ ඒ යෝජනා තුළ අපේ රටේ ඒකීයත්වය මෙන්ම රාජ්‍ය බලය විභේදනය කිරීම තුළ විශාල හානිකර තත්ත්වයක් ඇති බව ද රට කොටස්වලට බෙදී යා හැකි බව ද පේනවා.  

ඒ නිසා අප අදහස් කරන්නේ මේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැවතිය යුතු බවත් ඉදිරියේදී යම් වෙනසක් සිදු කිරීමට අවශ්‍ය නම් එය සාකච්ඡා කොට අවශ්‍ය පරිදි සිදුකළ යුතු බවයි. මේ අවස්ථාවේදී රටේ ජාතික සමගිය සදහා මෙන්ම රටේ සංවර්ධන උදෙසා අප ක්‍රියා කළ යුතුයි.....''  

ඒ සදහා මහා සංඝරත්නය ඉදිරි ක්‍රියාමාර්ග වෙනුවෙන් සාකච්ඡා කරන බව ද අවශ්‍ය තීන්දු තීරණ සදහා මහා සංඝරත්නය නිරන්තරයෙන් අවධානයෙන් පසුවන බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී හිමිපාණන් වහන්සේ වැඩිදුරටත් සදහන් කළේය. 

 

පැවැති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව අදහස් පළ කළ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් මෙසේ සදහන් කළහ. 

''.....මේ අලුතින් ඉදිරිපත් කිරීම කටයුතු කරන ව්‍යවස්ථාව අකුලා ගත යුතුයි. මෙය ප්‍රාදේශීය ලෙස බලය ලබාදීමට කරන කටයුත්තක්. ඒකීයත්වයට හානි නොවන බවත් බුදු දහමට හානි නොවන බවත් ප්‍රකාශ කළත් ඒ දෙකම අපට විශ්වාස කළ නොහැකියි. පළාත් සභාවලට සම්පූර්ණ බලය ලබාදීමට උත්සහ කරන බවයි පෙනී යන්නේ. මේක පළාත් සභාවට බලය ලබාදීම සදහා සිදුකරන උපක්‍රමයක්. මේකෙන් රටට කිසිදු ප්‍රයෝජනයක් නැහැ. දිවංගත ජේ.ආර්. ජයවර්ධන මහතා කළ දේ නිසා රට හිගන තත්ත්වයට පත් වුණා.  පළාත් සභා සදහා බලය ලැබීම නිසා විශාල ධනස්කන්දයක් නාස්ති වෙනවා. ඇමතිවරු, ඇමති කාර්යය මණ්ඩල, ලේකම්වරු මෙන්ම ඔවුන්ගේ පරිහරණය සදහා විශාල සම්පත් ප්‍රමාණයක් වෙන් කළ යුතුයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවශ්‍ය නොවන නමුත් කොට්ඨාශ ක්‍රමයට මැතිවරණ පැවැත්වීම අවශ්‍යයි. එමෙන්ම ජනාධිපතිරයාගේ බලතල ඒ අයුරින් පැවතිය යුතුය යන්න සංඝ සභාවේ තීරණය....'' යැයි මල්වතු පාර්ශවයේ අනුනායක පුජ්‍ය දිඹූල්කුඹුරේ විමලධම්ම හිමියන් වැඩිදුරටත් සදහන් කළහ. 

මෙම අවස්ථාව සදහා අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමියන් වන පූජ්‍ය ආණ්මඩුවේ ධම්මදස්සි හිමි හා පූජ්‍ය වේඩරුවේ උපාලි හිමියන් ද මල්වතු පාර්ශවයේ අනුනායක පුජ්‍ය දිඹූල්කුඹුරේ විමලධම්ම හිමියන් ඇතුලු උභය මහා විහාරයේ කාරක සංඝසභාවේ හිමිවරු පිරිසක් සහභාගී විය. 

 

නදීක දයා බණ්ඩාර - මහනුවර 

 


3 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now