SKIP TO MAIN CONTENT

රනිල් - මෛත්‍රී පාර්ශව දෙකෙන්ම අද හොරා කන බව හෙළිවෙලා තියෙනවා : දිලුම් අමුණුගම.

Another bunch of MPs will come out from Govnt: Dilum Amunugama.
Source: SBS Sinhala

3 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

කැබිනට් සංශෝධනය සමග තවත් පිරිසක්  ආණ්ඩුවෙන් ඉවත්වීමට සූදානම් යැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේය.

ආණ්ඩුවෙන් ඉවත්වූ දහයස දෙනා පිළිබදව විශ්වාසයක් තැබිය හැකි වන නමුත් ආණ්ඩුවේ සිටිමින් කථාකරන කිසිවෙකු පිළිබදව කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි යැයි නුගවෙල පක්ෂ කාර්යාලයේදි පෙරදා (05/05)  පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කීවේය.

රටට සිදුව ඇති විපත්තිය පැහැදිලිව දර්ශනය වන බැවින් අමාත්‍යධූරය හා මෝටර් රථය පිළිබද සිතමින් නොසිට ආණ්ඩුවෙන් එළියට බැසීම වඩා සුදුසු යැයි කී මන්ත්‍රීවරයා මෙසේ ප්‍රකාශ කළේය.

"පසුගිය දා සිදුවූ කැබිනට් සංශෝධනය හිසේ කැක්කුමට කොට්ටය මාරු කිරීමක් වගෙයි. එකම කාඩ් කුට්ටම අනලා අනලා යළි ජනතාවට ඉදිරිපත් කිරීමක් තමයි සිදුවුණේ. ඇමතිවරු හා ඇමතිකම් පිළිබදව පමණක් සියලු දෙනා කථා කළත් ජනතාවට දරා ගත නොහැකි ජීවන බරක් අද දැරීමට සිදුව තිබෙනවා. බඩු මිල ඉහට උඩින් ගොස් තිබෙනවා. කුඩා දරුවන්ගේ බැංකු ගිණුම්වලට පවා බදු අය කරනවා. බැදුම්කර සිද්ධිය මගින් විශාල මුදලක් වංචා කර තිබුණා. ලිට්ලෝ ගෑස් සභාපතිවරයා මැලේසියානු බැංකුවකින් රුපියල් කෝටි 3000ක් වංචා කර තිබුණා. ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානීන්, රජයේ සභාපතිවරු පවා අද මුදල් අල්ලස් ලබා ගන්නවා. රජයේ යන්ත්‍ර සූත්‍ර විකිණීමට මොවුන් පුද්ගලික අත්තිකාරම් මුදල් ලබා ගන්නවා. මේ දක්වා අප සිතා සිටියේ වංචා කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ශවය පමණයි කියලා. නමුත් එක්සත් ජාතික පක්ෂයේ පමණක් නොව අද වන විට ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් ද මුදල් වංචා කිරිම් දක්නට ලැබෙනවා. රජයේ යන්ත්‍රසූත්‍ර විකිණීමට පුද්ගලිකව මුදල් ලබා ගැනීමට කිසිදු හැකියාවක් නැහැ. මේ පිළිබදව ඉන්දියානු ජාතිකයා පැමිණිලි කළ නිසා එය අනාවරණය වුණා. නමුත් මෙවැනි සිදුවීම් කොතරම් ප්‍රමාණයක් රහසිගතව සිදුව ඇත්තැයි සිතා ගන්න බැහැ. මෙවැනි තත්ත්වයක් යටතේ අද අපේ රටට ආයෝජකයන් පැමිණෙයි ද යන්න සැක සහිතයි. රජය මේ වන විට ඉතාම දරුණු ස්ථානයකට පත්ව තිබෙනවා. ලබන මැතිවරණයේදී කිසිසේත්ම ජය ලැබීමට නොහැකි බව සක්සුදක් සේ පැහැදිලි බැවින් අගමැතිවරයාගේ පාර්ශවය සහ ජනාධිපතිවරයාගේ පාර්ශවය ඉදිරි මැතිවරණයට පෙර සිය බැංකු ගිණුම් තර කර ගනිමින් සිටිනවා. මේ පිළිබදව ඒකාබද්ධ විපක්ෂය ලෙස ගත යුතු ක්‍රියාමාර්ග නුදුරේදීම ක්‍රියාත්මක කරනවා.

"ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ඇමතිවරුන් අවසන් මොහොතේ හෝ ආණ්ඩුවෙන් ඉවත්වීම වඩා හොදයි. නමුත් ඔවුන් පසුගිය කාලයේදී ක්‍රියාත්මක වූ ආකාරය පිළිබදව ජනතාව තුළ ප්‍රසාදයක් නැහැ. පොහොට්ටුවට ඡන්දය දුන් අය ඔවුන් කෙරෙහි තවම පසුවන්නේ වෛරයෙන්. නමුත් අවසන් මොහොතේ හෝ ආණ්ඩුවෙන් ඉවත්වී ආණ්ඩුවට එරෙහි සටනට එළැඹීම සුදුසු යැයි මා විශ්වාස කරනවා. පොහොට්ටුවට ජන්දය දුන් විශාල පිරිසක් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබද ලොකු විශ්වාසයකින් ඉන්නේ. නමුත් අප ඒ පිළිබදව එතුමා සමග සාකච්ඡා කරලා නැහැ. එතුමා දේශපාලනය පිළිබදව තවම අප සමග සාකච්ඡා කරන්නේ නැහැ. ඔහු වෙනත් වැඩපිළිවෙලක ඉන්නේ. නමුත් ඉල්ලීමක් ලැබුනොත් ඉන්න සූදානම් කියන කාරණය ඔහු වරෙක ප්‍රකාශ කර තිබුණා" යැයි ද  මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණූගම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now