මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පසුගිය මාර්තු 09 වන දින මහනුවර මහයියාවේදී පැවැති සාකච්ඡාවකදී මහනුවර ඇතිවූ සිද්ධිය පිළිබද ආගමික නායකයින් සමග අදහස් හුවමාරුවක් සිදු විණි.
බෞද්ධාගමික මෙන්ම ඉස්ලාම් ආගමික නායකයින්ද සහභාගී වූ මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූ හිටපු ජනාධිපතිවරයා මෙසේ අදහස් පළ කළේය.
"සුළු සිද්ධියක් මත මහනුවර අවට ඇතිවූ ගැටුම සමථයට පත් නොකර ඊට උඩගෙඩි දෙන තත්ත්වයක් දැකිය හැකිවුණා. මේ සදහා රජය ක්‍රියාත්මක නොවන බවයි දක්නට ලැබෙන්නේ. වෛරය වැඩිදුයුණු කරන වැඩපිළිවෙලක් මිස සංහිදියාව කරා යන වැඩපිළිවෙලක් නොමැතිවීම නිසා මේ සදහා මැදිහත්වීමක් අවශ්‍ය බව මම විශ්වාස කළා. මෙම ගැටුමට රජය වගකියන්න ඕනි. ලොරි රථයේ රියදුරු පහරකා බරපතල තුවාල ලබා රෝහල්ගතව සිටියදී පහර දුන් පුද්ගලයන්ට ඇප ලබාදී තිබෙනවා. ලොරි රියදුරු මරණයට පත්වූ පසුවයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. මේක ජනතාව කුලප්පු කළා වගේ වැඩක්. හැමදාම මිනිස්සු රවට්ටන්න බැහැ. මේ තුළින් අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය අමතක කරන්න උත්සහ කරනවා. ඒ විශ්වාසභංගය මෙන්ම ආණ්ඩුව ගෙදර යැවීමේ වැඩපිළිවෙල අඩාල නොවන බවත් ආණ්ඩුව ගෙදර යැවීම ඉබේම සිදුවනු ඇති".

