රටට දැයට ආදරය නොකරන එක්සත් ජාතික පක්ෂයේ වත්මන් පාලකයන් නිසා මේ රට විනාශයෙන් විනාශයට පත්ව ඇතැයි අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤණරතන හිමිපාණෝ පවසති.
එක්සත් ජාතික පක්ෂයේ වරදින් මේ රට සම්පූර්ණයෙන්ම නැතිවුණු බව තමන් හමුවට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරයෙකු හමුවේ පසුගියදා ප්‍රකාශ කළ බවද මහනායක හිමිපාණන් වහන්සේ පසුගිය ජුනි 15 වන දින යටිනුවර, දියකෙළිනාව කිත්සිරිමෙවන් රජමහ විහාරස්ථානයේ පැවති උත්සවයකදී අනුශාසනාවක් කරමින් සඳහන් කළහ.
එම විහාරස්ථානයේ විසිඑක් රියන් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරිම නිමිත්තෙන් මෙම උත්සවය පැවැත්විණි.

අද වන විට ශ්‍රී ලංකාව පත්ව ඇති තත්ත්වය දෙස බලන විට රටේ අනාගතය පිළිබඳ බොහෝ දුරට කණගාටුවක් සිතෙන බව පැවසූ අස්ගිරි පාර්ශවයේ මහනායක හිමියන් තවදුරටත් මෙසේ සඳහන් කළහ.
"රටේ අනාගතය අද බෙහෙවින්ම භයානකයි. ගාමිණී දිසානායක මැතිතුමාගේ කාලයෙන් පසු රට ආරක්ෂාව වුණු යුගය අවසන් බවයි අපේ හැඟීම. ඉන් මෙහාට පත්වුණු එක්සත් ජාතික පක්ෂයේ පාලකයෝ මේ රටට ආදරය නැහැ. ඔවුන් මේ රටට, ජනතාවට ආදරයක් නොමැති බව මම ප්‍රසිද්ධියේ කියනවා. අපිට ඇති වෙන්න දේකුත් නැහැ, නැති වෙන්න දේකුත් නැහැ. ඒ නිසා මේ බව ප්‍රසිද්ධියේම කියනවා. කිසි දෙයකට බියකුත් නැහැ. අපි කෙලින් කතා කරන්න ඕනේ. මේ රට ආරක්ෂා වෙන්න ඕනේ. සිංහල ජාතිය, බෞද්ධයන් ආරක්ෂා වෙන්න ඕනේ ඒකයි අපේ පරමාර්ථය. භික්ෂූන් වහන්සේලා කැපවෙන්නේ අපේ සිංහල ජාතිය රැක ගන්නයි. කොතනත් අප කතා කරන්නේ බුද්ධාගම රැක ගැනීම සඳහායි."
"මෙතුවක් කල් අප නිහඩව සිටියා නොවෙයි. අප හමුවට පැමිණි හැම නායකයෙකුට ම ඒ කාරණය කිව්වා. ප්‍රසිද්ධ වෙන්න කතා කළේ නැහැ. ඒ අයට කරුණාවෙන් පැහැදිලි කළා මේ අවස්ථාවේදී කළ යුතු වන්නේ මේ මේ දේවල් යැයි යන වග. මෑතකදී මා හමුවට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකුට කීවා, මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ ආයුෂ අවසන්, ඊට යළි පණ දිය නොහැකි බව. එක්සත් ජාතික පක්ෂයේ වරදින් තමයි මේ රට නැති වුනේ කියන වගත් මම ඔහුට කීවා. මමත් කියනවා මුස්ලිම් කඩවලට යන්න එපා. ඒ කඩවලින් කන්න බොන්න එපා. මොකද ඒක ප්‍රසිද්ධ කාරණාවක්. ජනතාවට වස විස දී අපේ ජනතාව විනාශ කරන්න උත්සාහ කරපු පිරිසක් බව අද ඉතා පැහැදිලිව පේනවා. මේ නිසා බෞද්ධ ජනතාව ආරක්ෂා වෙන්න ඕනේ."
අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤණරතන හිමිපාණෝ වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසුහ.
"පසුගිය වකවානුවේදී සිදුවූ දේ දෙස බලන විට මෙරට දරුවන් අනාථයි. ලක්ෂ ගණනක් අපේ දරුවන් විනාශ කරනවා. වෛද්‍යවරයා ගල් ගසා මැරිය යුතු යැයි මව්වරු පිරිසක් කීවත් මම එසේ කියන්නේ නැහැ. අපේ මනුස්සයෙක් ඔවුන්ගේ ජාතියට මේ වගේ වැඩක් කලොත් ඔහුව පෙති ගහලා දායි. ඔය නීති රීති හරියන්නේ නැහැ. ඒ නිසා බෞද්ධයන් වශයෙන් අපි එකතු විය යුතුයි. සිංහලයන් වශයෙන් වෙනදා පුරුදු පරිදි පාට දෙස බලා ඡන්දය ප්‍රකාශ කිරීම සුදුසු වන්නේ නැහැ. මේ අවස්ථාවේදී ඉතාමත් ම සුදුස්සෙක් තෝරාගෙන පත් කර යැවිය යුතුයි. රටට ආදරය කරන, රට ජාතිය පිළිබඳව සිතන මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට යැවිය යුතුයි. එන සියලු දෙනා පාර්ලිමේන්තුවට තල්ලු කරලා යවන්න එපා. හොඳින් විමසා බලා මේ අවස්ථාවේදී ඒ කාර්යය කළ යුතුයි. සිංහල බෞද්ධ සියළුදෙනා එක්ව මේ රට ගොඩ නැගීමට එක්විය යුතුයි."
මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි ඇතුලු මහා සංඝරත්නය ද එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ ඇතුලු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.


