මැතිවරණය නිසා මතුවී තිබෙන දේශපාලන නොසන්සුන්තාව හේතුවෙන් රාජ්‍ය ආයතන රැසක ක්‍රියාකාරීත්වය අක්‍රීයවී ඇතැයි සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබද අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පැවසීය.
මැතිවරණය අවසන්වීමත් සමග මතුවූ මහා වියවුල් ස්වාභාවය නිසා අමාත්‍යංශ, දෙපාර්තමේන්තු හා පළාත් සභා ආදිය පවතින්නේ නොසන්සුන් තත්ත්වයකින් යැයි කන්ද උඩරට උරුමය පිළිබද අමාත්‍යංශයේ උප කාර්යාලයක් මහනුවර දී විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කීවේය.
නමුත් මෙම තත්ත්වය කඩිනමින් සමනය කොට ස්ථාවර රජයක් ගොඩ ගැනීම සදහා පියවර දියත් කෙරෙමින් පවතින බව කී අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය.
"පවතින රජයට පක්ෂපාතීව සේවය කිරීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක්. රජය නොසන්සුන් නිසා ඔවුන් ද සිටින්නේ නොසන්සුන් ස්වාභායකින්. නමුත් මේ තත්ත්වය ඉතා ඉක්මණින් ස්ථාවරත්වයට පත් කළ හැකියි. වසර තුන්සියයකට අධික කාලයක් අධිරාජ්‍යවාදීන්ගේ පාලනයට නතුවී සිටි කන්ද උඩරට ජනයා මහත් පීඩාවට පත්වුණා. ඔවුන්ගේ නිජ බිම් ඔවුන්ට අහිමිවුණා. බුදු දහම හා මහා සංඝරත්නය අනාරක්ෂිත තත්ත්වයට පත්වුණා. ඔවුන් නගා සිටුවීම සදහා උඩරට ගැමි පුනරුත්තාපන කොමිෂම මගින් උඩරට ගැමි පුනරත්තාපන දෙපාර්තමේන්තුව ද පසු කාලීනය හිටපු අමාත්‍ය දි.මු.ජයරත්න මහතාගේ මැදිහත්වීමෙන් උඩරට සංවර්ධන අධිකාරිය ද ආරම්භ කළා. ඒ ආයතන මගින් යම් සේවාවක් කන්ද උඩරට ජනතාවට සිදුකළත් වර්ෂ 2013දී දිවි නැගුම පනත මගින් මේ සියලු ආයතන අහෝසි කර දැමීමට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ක්‍රියා කළා. මේ ආයතන අහෝසි නොකරන ලෙස මල්වතු හා අස්ගිරි මහා නායක හිමිපාණන් වහන්සේ දිගින් දිගටම රජයට දැනුම් දුන්නා. නමුත් එවකට රජය ඒ තීරණය වෙනස් කළේ නැහැ. එමෙන්ම කන්ද උඩරට ජනයා වෙනුවෙන් ආයතනයක් පිහිටුවන ලෙස මහා නායක හිමිවරුන් පසුගිය ආණ්ඩුවෙන් මෙන්ම වත්මන් යහපාලන ආණ්ඩුවෙන් ද ඉල්ලා සිටියා. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උඩරට උරුමයන් පිළිබද අමාත්‍යංශය ස්ථාපත කළේ."
"කන්ද උඩරට ජනතාවට මතුව ඇති විශාලතම ගැටලුව වන්නේ ජලය සපයා ගැනීමයි. අධිරාජ්‍යවාදී පාලනයට පෙර උඩරට කුඩා ප්‍රමාණයේ වැව් 1900ක් තිබුණා. නමුත් සිංහළයන් අඩපණ කිරීම සදහා අධිරාජ්‍යවාදීන් මේ වැව් විනාශ කළා. මේ නිසා අද උඩරටට ජලය සපයා ගැනීම අර්බුදයක් වෙලා. මේ වැව් යළි ඉදි කොට උඩරට ජනතාවට ජලය ලබා දිය යුතුයි. " යනුවෙන්ද ඒ මහතා එහිදී අදහස් පළ කළේය.
"ඇතමුන් කියනවා උඩරට ජනතාව රට හා අධිරාජ්‍ය සුද්දන්ට පාවා දුන්නා කියලා. නමුත් ඔවුන් එහෙම කළේ නැහැ. දීරඝ කාලයක් මුහුදු බඩ ප්‍රදේශ පාලනය කළ අධිරාජ්‍යවාදීන්ට කන්ද උඩරට ආක්‍රමණය කළ නොහැකි වුණේ උඩරට ජනතාව මහනුවර ආරක්ෂා කළ නිසයි. දළදා වහන්සේ හා රජු ආරක්ෂා කිරීමට උඩරට ජනතාව පියවර ගත්තා. නමුත් උපක්‍රමශ්‍රීලී වූ අධිරාජ්‍යවාදීන් මත් පැනින් සංග්‍රහ කොට රජු බේබද්දෙක් බවට පත් කළා. රජු හා ජනතාව උපක්‍රමශ්‍රීලීව නොසන්සුන් කළා. රජු විසින් පවුල් පිටින් අමානුෂික ලෙස ඝාතනය කළා. මේ නිසා තමයි ජනතාවට රජු එපා වුණේ. නැත්නම් සිංහල ජනතාව උඩරට ආරක්ෂා කළා මිසක් කිසිදු අයුරකින් උඩරට පාවා දුන්නේ නැහැ." යනුවෙන් මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියෝ අදහස් දැක්වුහ.
"උඩරටට ෆෙඩරල් පාලන ක්‍රමයක් හදුන්වාදීම සදහා ක්‍රියාත්මක වීමක් සිදුවන බවට ඇතමුන් චෝදනා කරනවා. නමුත් උඩරටට වෙනම පාලන ක්‍රමයක් නොව උඩරට යළි නගා සිටුවීම සදහා සුදුසු ක්‍රමයක් අවශ්‍යයි. උඩරට ගැමි පුනරුත්තාපන කොමිෂන් වාර්තාව අනුව උඩරට සිංහළයන් විශාල ප්‍රමාණයකට නිජ බිම් අහිමිවෙලා තිබුණා. වර්ෂ 1815 කන්ද උඩරට ගිවිසුම අත්සන් කරන අවස්ථාව උඩරැටියන් හඩා වැළපුණු දවසක් වුණා. අධිරාජ්‍යවාදීන් විශාල වශයෙන් ඉඩම් අත්පත් කර ගැනීමේදී කන්ද උඩරට ජනතාව ඇදිවත පමණක් හැද අසරණව ඉවත්වුණා. ඔවුන්ට යන්න ඉන්න තැනක් තිබුණේ නැහැ. විශාල පිරිසක් කුසගින්නේ මරණයට පත්වුණා. නමුත් එදා සිට කන්ද උඩරට ජනතාවට යම් සාධාරණයක් ඉටු වුණේ නැහැ. උඩරට පුනරුත්තාපන දෙපාර්තමේන්තුව හා උඩරට සංවර්ධන අධිකාරිය ස්ථාපිත කළත් දිවිනැගුම පනත මගින් ඒ ආයතන අහෝසි කර දැමුවා. මේ නිසා අසාධාරණයට පත්වූ කන්ද උඩරටට සාධාරණයක් ඉටු කර දීම රජය සතු වගකීමක් හා යුතුකමක් බවයි අපේ අදහස." යනුවෙන්අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ ද අදහස් දැක්වුහ.

