SKIP TO MAIN CONTENT

ජනාධිපති ඕනේ. එළවන්න ඕනේ රනිල්ව : චමල් රාජපක්ෂගේ අලුත්ම කතාව.

Politics of Sri Lanka
Source: SBS Sinhala

2 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පමණක් නොව රටේ ප්‍රතිපත්තියට නොගැලපෙන එක්සත් ජාතික පක්ෂය ද බලයෙන්  පළවා හැරිය යුතු යැයි හිටපු කථානායක, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීම නොව රටට අනුචිත පක්ෂය පවා ඉවත්කිරීමට කටයුතු කළ යුතු බවත් එසේ නොකළ හොත් පොදු ජනයා ආණ්ඩුවට එරෙහිව පාරට බසිනු ඇතැයි මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඊයේ (04/05) පැවැති දානමය පුණ්‍යකර්මයකින් අනතුරුව මාධ්‍ය හමුවේ ඒ මහතා සදහන් කළේය.

සංවර්ධනය කරා ගමන් කිරිමේදී රටට විධායක බලයක් සහිත ජනපතිවරයෙකු අවශ්‍ය බව කී ඒ මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.

මේ ආණ්ඩුවේත් විධායක ජනපතිවරයෙක් නොසිටියා නම් රටේ කිසිදු සම්පතක් ඉතිරි වන්නේ නැහැ. විදේශ රටවලට සම්පත් සියල්ල විකුණා දමා හිතුවක්කාර ලෙස කටයුතු කරයි. මේවා යම් තරමක් හෝ පාලනය වෙලා තිබෙන්නේ විධායක ජනපතිවරයෙකු සිටින නිසයි. ඒ නිසා රටේ ස්වාධීන බව ඇති කරන තුරු, ජාත්‍යන්තර ගැටලු විසදා ගන්නා තුරු විධායක ජනපතිවරයෙකු රටට අවශ්‍යයි. බලයෙන් පහ කළ යුත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද යන්න නොවෙයි ගැටලුව. ගැටලුව වන්නේ ඒ පක්ෂයේ තිබෙන ප්‍රතිපත්තියයි. ඔවුන් රටට සුදුසු ද යන්න සිතා බැලිය යුතුයි. පසුගිය වසර තුනක කාලය තුළ රට ගමන් කරවීමට උත්සහ කළේ කුමන ක්‍රමයටද යන්න ඉතා පැහැදිලියි.එවැනි ප්‍රතිපත්තියක් රටට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා අග්‍රාමාත්‍යවරයා පළවා හැරීමට වඩා අහිතකර ප්‍රතිපත්ති සහිත පක්ෂය පළවා හැරීමට කටයුතු කළ යුතුයි. ආණ්ඩුවට එරෙහි කණ්ඩායම විපක්ෂයේ අසුන් ගැනීම සුදුසු බවයි මගේ හැගීම. දැන් ජනතාව ඔවුන් සමග එක් වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස රට පාලනය කළ නොහැකි පක්ෂයක් පළවා හැරීම සදහා ප්‍රබල විපක්ෂය කටයුතු නොකරන්නේ නම් ඒ වෙනුවෙන් ජනතාව පාරට බසියි.

අද බලන්න මිනිසුන් ජීවත්වන හැටි. ග්‍රාමීය ජනතාවට ජිවන වියදම දරා ගන්න බැහැ. ව්‍යාපාරිකයාට බදු බර උසුලන්න බැහැ. මේ ආණ්ඩුව උත්සහ කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය ඉවත් කිරීමට පමණයි. ඒ කාලයේ රටේ සිදුකළ සංවර්ධනය හදුනාගෙන රටට වාසිදායක සංවර්ධනයක් ළගාකර දීමට ඔවුන් සමත්වුණේ නැහැ. මේ නිසා රට අවුලෙන් අවුලට පත්වුණා යැයි හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now