SKIP TO MAIN CONTENT

තනතුරු වලින් ඉල්ලා අස්වූ ශ්‍රීලනිප 16 කල්ලියට රාමඤ්ඤ නිකායේ නා හිමියන් පැවසූ දේ මෙන්න ...

SLFP Former 16 Ministers Visited Menikhinna.
Source: SBS Sinhala

2 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

බෙදී සිටීම තුළින් ශක්තිමත් පදනමක් සිදු නොවන නිසා වෙන්වීම නොව එක්වීම වඩා සුදුසු යැයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපන පේමසිරි හිමියන් ප්‍රකාශ කළේය.

අතක ඇගිලි එක හා සමාන නොවන නමුත් යම් කාර්යයක් සිදුකිරීම තනි ඇගිල්ලකට පමණක් සිදු කළ නොහැකි යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යධූරවලින් ඉල්ලා අස්වූ මන්ත්‍රීවරුන් හමුවේ මහා නායක හිමියන් මේ බව කීවේය.

නමුත් එකට එක්ව යම් ගමනක් යා නොහැකි නම් බෙදී වෙන්වී හෝ ඒ ගමන යා යුතුවන බැවින් ඔවුන් ගත් තීරණයේ වරදක් නොදකින නමුත් කරන සෑම කාර්යයක්ම යහපත් බුද්ධිය සහ දීර්ඝකාලීන නුවණ උපයෝගී කර ගනිමින් සිදු කළ යුතු යැයි ද උන්වහන්සේ ප්‍රකාශ කළේය.

ඉතිහාසය වෙනස් කිරීම, ජාතියට සිදුවන හානිය ආදිය මාධ්‍ය තුළින් දකින නමුත් වහා කිපී වෛරයට පත්වීම බුද්ධිමත් නොවන බවත් කළ යුතු දේ නුවණින් විමසා බලා බුද්ධිමත්ව සිදුකළ යුතු යැයි ද උන්වහන්සේ කීවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන හිටපු අමාත්‍යවරුන් පිරිස මැණීක්හින්න හුරිකඩුව  විද්‍යාසාගර පිරිවෙනේදී මහා නායක හිමියන් බැහැ දැක උන්වහන්සේ වෙත තමන් ගත් තීරණය පිළිබදව දැනුම් දුන්නේය.

මහා නායක හිමියන් ඇතුලු මහා සංඝරත්නය එහිදී ඔවුන් වෙත ආශිර්වාද කරමින් පිරිත් සඤ්ඤායනා කළහ.

අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා මෙසේ ප්‍රකාශ කළේය.

"එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ සම්මුති ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බව මධ්‍යම කාරක සභාවේදී අපි ජනාධිපතිවරයා වෙත සදහන් කළා. අපේ අවුරුදු දෙකක කාලය නිමාවට පත්ව දැන් මාස කිහිපයක් ඉක්මවා තිබෙනවා. ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත වරින් වර අපි හිටියා. විශ්වාසභංගයට පක්ෂව ඡන්දයදී ආණ්ඩුවේ රැදී සිටීමට කිසිදු අපේක්ෂාවක් අපේ නැහැ. අමාත්‍යධූර, වාහන භාරදී කාර්යයමණ්ඩල ඉවත්කර ගෙන අපිට ඉවත්වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හදපු, රට පාලනය කළ අභිමානවත් ඉතිහාසයක් තිබෙන පක්ෂයක්. ඒ පක්ෂයේ සිට පක්ෂය වෙනත් මානයක් කරා ගෙන යාමට අපි ඉඩ දෙන්නේ නැහැ. වෙනත් පක්ෂයකට අපේ මධ්‍යම කාරක සභාව මෙහෙයවන්න බැහැ. පක්ෂයේ ඉදගෙන වෙනත් පක්ෂයක් කරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙනයාම වැළැක්විය යුතුයි."

පක්ෂය හා රට විනාශවීමට ඉඩ නොදිය යුතුයි. ඉදිරි දෙසතියේදී යළි රැස්වන අතර අනතුරුව පක්ෂයේ සියලු තනතුරුවල ප්‍රතිසංශෝධනයක් කරන බව හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ප්‍රකාශ කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now