දේපොල විනාශ කරමින් ජන ජීවිතවලට හානිකළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කොට දඩුවම් ලබාදීම රජය සතු වගකීමක් යැයි ශ්‍යාමොපාලි වංශික මහ නිකායේ කෝට්ටේ පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියෝ සදහන් කළහ.
වැරදි කළ අයට කළ වරදට දඩුවම් ලබාදීම අත්‍යවශ්‍ය බවත් එය නීතියෙන් ඉටුවිය යුතු දෙයක් බවත් ඊයේ (19) පස්වරුවේ තෙල්දෙණිය හා ඒ අවට ප්‍රදේශවල නිරීක්ෂණයට එක්වෙමින් මහා නායක හිමියෝ සදහන් කළහ.
පසුගිය දිනවල ඇතිවූ නොසන්සුන්තාව හේතුවෙන් සිදුවූ හානිය සහ ජන ජීවිතවල වත්මන් තත්ත්වය විමසාබැලීම සදහා මහා නායක හිමියන් ඇතුලුව සර්ව ආගමික නියෝජිත පිරිසක් අදාල ප්‍රදේශවල නිරීක්ෂණයේ නිරතවූහ.
බලගොල්ල බෞද්ධ මධ්‍යස්ථානයට රැස්වූ මහා සංඝරත්නය ඇතුලු නියෝජිත පිරිස එහිදී සාකච්ඡා කොට අනතුරුව කෙන්ගල්ල ජුම්මා මුස්ලිම් පල්ලිය ද දිගන ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ද නිරික්ෂණයට එක්විය.
පසුව පහරදීම නිසා මරණයට පත් අම්බාලේ පුස්ගෝවේ පදිංචිව සිටි තරුණයාගේ පවුලේ ඥතීන් හමුවීම ද මෙම නියෝජිතයන් විසින් සිදුකරන ලදි.
සුළු සිදුවීමක් මහා නොසන්සුන්තාවක් හා ජනවාර්ගිය ගැටලුවක් දක්වා වර්ධනය වූ නමුත් පුස්ගෝව ග්‍රාමයේ ජනතාවගේ හැසිරීම ඉතා ආදර්ශමත් යැයි එහිදී කී අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියෝ මෙසේ සදහන් කළහ.
“සිංහළ බෞද්ධයන් අන් ජාතීන්ට ආදර්ශමත් විය යුතුයි. දරුවන්ට පියෙක්, බිරිදට සැමියා, පියාට පුතු අහිමිවුවත් මේ පවුලේ හැසිරීම ඉතාමත්ම බුද්ධිමත්. ප්‍රදේශයේ විහාරාධිපති හිමියන් ද ගම සන්සුන් කිරීම සදහා වැඩි දායකත්වයක් ලබා දී තිබෙනවා. දේපොල විනාශ කර, ජන ජීවිතවලට හානි කළ අයට දඩුවම් ලබාදිය යුතුයි. එය රජය සතු කාර්යයක්”
මරණයට පත් තරුණයාගේ පාසල් වයසේ දියණියගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් උපකාර කිරිමට මෙම නියෝජිත පිරිස ඉදිරිපත්වන බව මෙහිදී සදහන් කළහ.
ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති, ජපානයේ ප්‍රධාන සංඝනායක ශ්‍රාස්ත්‍රපති බානගල උපතිස්ස හිමි, රත්විට රජමහ විහාරාධිපති සත්කෝරළ මහ දිසාවේ උපප්‍රධාන සංඝනායක පූජ්‍ය මාගල්කඩවල පුඤ්ඤසාර හිමි, මැදදුම්බර පාතදුම්බර ප්‍රධාන සංඝනායක තල්පොත ධම්මජෝති හිමි, සර්ව ආගමික සමුළුවේ ලේකම් කනක සංඛේ පියතුමා, සර්ව ආගමික සමුළුවේ විධායක සභික ජාවිඩ් යූසුෆ් මහතා ඇතුලු පිරිසක් මෙම සංචාරය සදහා එක්වූහ.

