ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2019 සිට 2021 දක්වා වන වසර දෙකක කාලපරිච්ජේදය සඳහා විධායක කමිටුව පත්කරගැනීමේ නිලවරණය ශ්‍රී ලංකා වේලාවෙන් අද (21/02) පෙරවරු 10 ට පැවැත්වීමට නියමිතය.
මෙම නිලවරණයේදී සභාපති, උප සභාපතිවරුන් දෙදෙනකු, ලේකම්, උප ලේකම්, භාණ්ඩාගාරික සහ උප භාණ්ඩාගාරික යන ප්‍රධාන තුනතුරු හත සඳහා නිලධාරීන් පත්කරගැනීමට නියමිතය.
මේ අතර මොහාන් ද සිල්වා මහතා සභාපති ධූරයට ද, රවීන් වික්‍රමරත්න මහතා උප ලේකම් ධූරයට ද, ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොණුකර තිබූ නඩු අභියාචනා අධිකරණයේදී ඊයේ කැඳවූ අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍යංශය වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරු මොහාන් ද සිල්වා මහතාට ලේකම් ධූරයට ද, රවීන් මහතාට උප සභාපති ධූරයට ද, තරග කිරීමට අවස්ථාව ලබාදීමට යෝජනා කළහ.
එම යෝජනාවට මොහාන් ද සිල්වා සහ රවීන් වික්‍රමරත්න යන මහත්වරු එකඟතාව පළකළහ.
මෙවර නිලවරණයේදී සභාපති ධූරයට ‘තිලංග සුමතිපාල’ පාර්ශවයෙන් ශම්මි සිල්වා මහතා ද, ‘අර්ජුන රණතුංග’ පාර්ශවයෙන් ජයන්ත ධර්මදාස සහ කේ. මතිවානන් යන මහත්වරුද තරග කරති.
එමෙන්ම උප සභාපති ධුරය සඳහා ‘තිලංග සුමතිපාල’ පාර්ශවයෙන් ශම්මි සිල්වා සහ රවීන් වික්‍රමරත්න මහත්වරුන්ද අර්ජුන රණතුංග සහ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ යන මහත්වරුන්ද තරග වදිති.

