SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා පොලීසියට වසර 150යි : අපරාධ මැඬලීමට නව මෙහෙයුමක් දියත් කර ඇතැයි පොලිස්පති පූජිත් ජයසුන්දර කියයි. (වීඩියෝ)

150 year celebration -
Sri Lanka Police Source: SBS Sinhala

3 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Presented by Nadeeka Daya Bandara - Kandy - Sri Lanka


Skip to article content

මෑතක සිට පැතිර යන සංවිධානාත්මක අපරාධ රැල්ල මැඩලීම සදහා විශේෂ කාර්යය බලකාය, සංවිධානාත්මක අපරාධ අංශය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය යන ආයතන  ඒකබද්ධ කොට නව මෙහෙයුමක් දියත් කර ඇතැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවසීය.

අවිආයුධ සංසරණය වැළැක්වීම, නීති විරෝධී මධ්‍යසාර හා සියලුම මත්ද්‍රව්‍ය මර්ධනය කිරිමට, අපරාධ වැළැක්වීම සදහා මෙහෙයුම් හා බුද්ධි අංශ තොරතුරු මත නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු යටතේ මෙම නව ඒකකය ක්‍රියාත්මක  වන බව 150 වන පොලිස් දින සැමරුම නිමිත්තෙන් පෙරේදා ( අගෝස්තු 26) මහනුවර දී පැවැති උත්සවයේදි පොලිස්පතිවරයා මේ බව කීවේය.

අපරාධ මැඩලීම සදහා දිවයිනේ පොලිස් ස්ථානවල ක්‍රියාත්මක සාමාන්‍ය වැඩපිළිවෙලට අමතරව නව වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බවත් ඒ සදහා සුදුසු නිතිමය ප්‍රතිපාදන හා අවසරය ඔවුන්ට ලබා දී ඇතැයි පොලිස්පතිවරයා පැවසීය.

නීතිය හා සාමය සුරක්ෂිත කිරීමේදී විවිධ හේතුමත පොලිස් නිලධාරී හා නිලධාරිනියන් 3117ක් දෙනෙකු පසුගිය වසර 150ක කාලය තුළ ජිවිත පරිත්‍යාග කර ඇති බව ගෞරව බහුමානයෙන් යුතුව සිහිපත් කරන බව කී පොලිස්පතිවරයා, ඔවුන් පොලිස් සේවය සදහා එක් කොට ඇත්තේ අමරණීය නාමයක් යැයි ද කීවේය.

වසර 150ක පොලිස් ඉතිහාසයේ ගතවූ වසර 50 ක කාලය අභියෝග රැසකට මුහුණදීමට වූ කාලයක් යැයි කී ඒ මහතා එම කාලය තුළ ලද ජයග්‍රහණ හා අත්දැකීම් අසීමිත යැයි ද ප්‍රකාශ කළේය.

රථ වාහන පාලනය විධිමත් කිරීමටත්, වැඩිවන ජන සංඛ්‍යාව හා ඉහළ යන රථවාහන ප්‍රමාණයට සාපේක්ෂව රිය අනතුරු අවම කර ගැනීම සදහා පොලිස් නිලධාරීන් විශාල කැපකිරීමක් කරන බව කී පූජිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් මෙසේ කීවේය,

" ළමා හා කාන්තා ආරක්ෂාව, ගෘහස්ථ හිංසනය, ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සදහා ද පොලිස් නිලධාරීන් විශාල කාර්යයභාරයක් සිදුකරනවා. පරිසර ආරක්ෂාව, වෙරළ සංරක්ෂණය, නීති විරෝධී දැව ජාවාරම, අනවසර පතල් කැණීම හා වැලි ගොඩ දැමීම වැළැක්වීම, කුඹුරු හා වගුරු බිම් ගොඩකිරිම වැළැක්වීම සදහා ද චූදිතයන් නීතිය හමුවට ඉදිරිපත්කිරීමට පොලිසිය ක්‍රියාකරනවා.

ශ්‍රී ලංකා පොලීසියට වසර 150ක් පිරීම නිමිත්තෙන්  වැඩසටහන් කිහිපයක් අප සංවිධාන කළා. අන්තර් ජාතික පොලිස් නිලධාරීන්ගේ සමුළුව පැවැත්වීම, මහජන සහභාගීත්වය මගින් ප්‍රජා පොලිස් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා පොලිස් ස්ථාන 484ක් සම්බන්ධ කර ගනිමින් ජංගම පොලිස් සේවාව ක්‍රියාත්මක කොට මේ දක්වා එය පැවැත්වීම, රුපියල් කෝටි 80ක වියදමින් සමාජ සුභ සාධන කටයුතු සිදු කිරීමත් මේ යටතේ සිදුකළා.

එමෙන්ම වර්ෂ 2015දී සියයට 60ක් වූ අපරාධ විසදීමේ ඉලක්කය 150 වන පොලිස් දින සැමරුම නිමිත්තෙන් 70% දක්වා ඉහළ නැංවූ අතර එය මේ වන විට 75% දක්වා ඉහළ නංවන ලෙස මම උපදෙස් ලබා දුන්නා. ඒ සදහා දිනපතා කරුණු වාර්තා කරමින් විමර්ශන කටයුතු සිදුකිරීමට නියමිතයි.

සාක්ෂි ලබා ගැනීමේදී තාක්ෂණය භාවිත කිරීම, අපරාධ මැඩලීම හා විමර්ශන කටයුතු සදහා ස්වයංක්‍රීය පරිගණක තාක්ෂණය යොදා ගැනීම සිදුකරනවා."

මතින් තොර රටක් බිහිකිරීම සදහා ජනාධිපතිවරයා ලබාදී ඇති ඉලක්කය අනුව ක්‍රියාකිරීමට ද පොලිසිය  මේ වන විට කටයුතු කරමින් සිටින බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් පැවසීය.

අළුත් ප්‍රවෘත්ති සහ කාලීන තොරතුරු දැනගැනීමට පිවිසෙන්න සිංහල වැඩසටහනේ Facebook පිටුව වෙත


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now