මහා සංඝරත්නය ගෞරවයට හානියක් නොවන ලෙස අධිකරණ කටයුතු සිදුකරන්නැයි අවස්ථා ගණනාවකදී දැනුම් දී ඇතත් එය ඒ ආකාරයෙන්ම ඉටු නොවන තත්ත්වයක් දැකිය හැකි යැයි මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර් ථ සුමංගල හිමියෝ පවසති.
විහාරස්ථානවල සාම්ප්‍රදායික කටයුතු මහා විහාරය විසින් ඉටු කිරීමට හැකියාවක් ඇති නමුත් අධිකරණය ඊටත් වඩා පොදු සම්භාවනාවට පාත්‍ර වන නමුත් අධිකරණයේ ක්‍රියාවලිය දිගින් දිගින් දිගටම ප්‍රමාදවීම නිසා සියලු පාර්ශ්වයන් දැඩි පීඩාවට පත්ව ඇතැයි නව අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා හමුවේ මල්වතු පාර්ශ්වයේ මහනායක හිමියෝ පැවසූහ.
නව අගවිනිසුරුධුරයට පත් ජයන්ත ජයසූරිය මහතා මැයි 09 වන දින අස්ගිරි මහා විහාරයට පැමිණ එහිදී එම පාර්ශවය මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමිපාණන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබා ගත්තේය.
අනතුරුව මල්වතු මහා විහාරයට ගිය ඒ මහතා එහිදී එම පාර්ශ්වයේ මහා නායක තිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර් ථ සුමංගල හිමිපාණන් වහන්සේ බැහැ දුටුවේය.
නීතිමය ගැටළු දිගින් දිගටම ප්‍රමාදවීම හේතුවෙන් මහා සංඝරත්නයට විශාල පීඩාවක් එල්ල වී ඇතැයි පෙන්වා දුන් මහ නායක හිමියෝ මෙසේ සඳහන් කළහ.
මහනුවර ප්‍රදේශයේ වැඩවසන භික්ෂුන් වහන්සේ නමකගේ කොළඹ විහාරස්ථානයක් සතු ඉඩමක් සම්බන්ධ නඩුවක් අධීකරණයේ ගොනු කොට තිබෙනවා. එම ඉඩම සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදුවිය යුතු අතර එම නඩුව විභාග කිරීම මහනුවර දී කළ හැකිද නැත්නම් කොළඹදී සිදු කළ යුතු ද යන්න පිළිබඳව තීරණයක් ලබා දීම සඳහා වසර දහයකට අධික කාලයක් මේ වන විට ගතවී ඇතත් තවමත් තීන්දුවක් ලබාදීමට අධිකරණය සමත් වී නැහැ.
විහාරස්ථානයේ විහාරාධිපති හිමිවරුන් දෙනමක් මේ වන විට අපවත් වී හමාරයි. ඉඩම සම්බන්ධයෙන් නඩු විභාග කිරීම කෙසේ වෙතත් නඩුව විභාග කිරීම මහනුවර දී ද කොළඹ දී ද සිදු කරන්නේ යන්න පවා තීන්දු කිරීමට අධිකරණයට තවමත් හැකියාව ලැබිලා නැහැ.
මේ ආකාරයේ නීතිමය ගැටළු දිගින් දිගටම ප්‍රමාදවීම හේතුවෙන් මහා සංඝරත්නය දැඩි පීඩාවට පත්ව තිබෙනවා.
මාතර ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමිපාණන් වහන්සේ නමක පත් කොට තිබෙන්නේ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් වරයා විසින්. මෙවැනි සම්ප්‍රදායන් සිදුවන්නේ නැහැ. නමුත් ඒ සඳහා ඔහුට බලයක් ලබාදී තිබෙනවා.
මහා විහාරයෙන් ලබාදෙන තීන්දුවට වඩා අධිකරණයෙන් ලබා දෙන තීන්දුව පොදු පිළිගැනීමට ලක් වන බව කාගේත් විශ්වාසයයි. නමුත් සිදුවන ප්‍රමාදය හේතුවෙන් බුදු දහම පිරිහී බුද්ධ ශාසනය විනාශ වන තත්වයක් තිබෙනවා.
මෙම අවස්ථාවේදී වත් ඊට විසදුමක් ලැබෙතැයි අප අපේක්ෂා කරනවා. නඩු කටයුතු සඳහා මහා සංඝරත්නය අධිකරණයට ගිය විට උන්වහන්සේ විවිධාකාරයෙන් අසීරුතාවයට පත් වෙනවා. විවිධ නඩුවලට පෙනී සිටින සියලු දෙනා ඉදිරිපිට භික්ෂූන් වහන්සේලාට කරුණු ඉදිරිපත් කිරීමට සිදුවීම මගින් උන්වහන්සේලාගේ ගෞරවයට මෙන්ම බුද්ධ ශාසනයට සිදුවන්නේ විශාල හානියක්.
මේ පිළිබඳව කරුණු පැහැදිලි කර යෝජනා ඉදිරිපත් කොට ඇති නමුත් ඒවා ඉටුවුණු තත්ත්වයක් දකින්න ලැබෙන්නේ නැහැ. හිටපු අගවිනිසුරුවරයා මහා සංඝරත්නය සම්බන්ධයෙන් නඩු විභාග කිරීමේ කටයුතු මහනුවරින් ආරම්භ කිරීමට ක්‍රියාත්මක වූ නමුත් එය ඉතාමත්ම කෙටි කාලයකින් අඩපණ වුණා.
එය අසාර්ථක වුණා පමණක් නොව නඩු ඇසූ නඩුකාරතුමාට ස්ථාන මාරුවක් ද හිමි වුණා.
මහ නායක හිමිපාණන් වහන්සේ සමඟ අදහස් දක්වමින් අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා, අධිකරණය යනු සතුටුදායක ස්ථානයක් නොවෙයි. එහි විවිධාකාර පුද්ගලයන් නඩු කටයුතු වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. එහිදී මහා සංඝරත්නය අසීරුතාවයට පත්වන බව ඇත්ත.
සාකච්ඡා කොට තීන්දු තීරණවලට එළැඹීව වඩා සුදුසුයි. නීතිමය කටයුතුවලදී ඒ සඳහා වැඩි කාලයක් ගත වෙනවා.
මහා සංඝරත්නයට සිදුවන පීඩාව පිළිබඳ ව මේ අවස්ථාවේදී අවධානය යොමුකොට ඊට සුදුසු විකල්පයක් මහනුවරින් ආරම්භ කිරීමට කටයුතු කරන බව ජයන්ත ජයසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

