SKIP TO MAIN CONTENT

ඉන්දුනීසියාවේ සුනාමි තත්ත්වයෙන් මිය ගිය පිරිස 800 ඉක්මවයි.

Indonesia earthquake
Source: AAP

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඉන්දුනීසියාවේ සුලාවේසි දූපත ආශ්‍රිතව පසුගිය සිකුරාදා හටගත් සුනාමි තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 832 ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

එම සංඛ්‍යාව ඉදිරියේදී තවත් ඉහළ යා හැකි බවට ඉන්දුනීසියානු බලධාරීන් අනතුරු අඟවා තිබේ.

මේ අතර 500 ක් පමණ පිරිසකට බරපතල තුවාල සිදුවී ඇති බවටද මේ වන විට වාර්තා වේ.

ඉන්දුනීසියාවේ සුලාවේසි දූපතේ වෙරළ කලාපය ආශ්‍රිතව පසුගිය සිකුරාදා මැග්නිටියුඩ් 7.5 ක භූ කම්පනයක් සමග සුනාමි තත්ත්වයක් මතුවිය.

ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයින්ගේ සිරුරු සමූහ ලෙස මිහිදන් කිරීමේ කටයුතු වහා අරඹන බව ඉන්දුනීසියානු සහ ජාත්‍යන්තර සෞඛ්‍ය බලධාරීන් පවසයි.

එසේ නැතහොත් ඒවායින් පැතිරෙන විෂබීජ හේතුවෙන් තවත් විශාල පිරිසකට අනතුරු කැඳවීමට හැකි බව ඔවුන් පෙන්වා දෙයි.

සුනාමි තත්ත්වය හේතුවෙන් බරපතල ජීවිත හානි මෙන්ම දේපළ හානිද සිදුව ඇති බව ඉන්දුනීසියාවේ Save the Children සංවිධානයේ Selina Sumbung පැවසුවාය.

මේ අතර විපතට පත් ඇතැම් ප්‍රදේශ කරා ළඟාවීම තවමත් දුෂ්කර තත්ත්වයක පැවතීම හේතුවෙන් මානුෂීය ආධාර ලබා දීමේ වැඩපිළිවෙලවල් තරමක් දුරට අකර්මන්‍ය වී ඇති බව සහන සේවා කණ්ඩායම් පවසයි.

කෙසේවෙතත්, මේ මොහොතේ ඇතිවී ඇති මෙම ඛේදනීය අවස්ථාව වෙනුවෙන් ඉන්දුනීසියාව අපේක්ෂා කරන ඕනෑම සහයක් නොමදව ලබා දීමට ඔස්ට්‍රේලියාව සූදානම් බව ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන්, ඉන්දුනීසියා ජනාධිපතිවරයාට දන්වා තිබේ.

Indonesia earthquake
Source: Twitter

වතිකානුවේදී ඊයේ (30/09) පැවති ප්‍රධාන දේව මෙහෙයේදී විපතට පත් ඉන්දුනීසියානු වැසියන් හට ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් යාච්ඤා කරනු ලැබීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now