SKIP TO MAIN CONTENT

මහනුවරට ඇඳිරි නීතිය පැනවූ තෙල්දෙණිය ගැටුමේ සම්පූර්ණ විස්තරේ මෙන්න.

Theldeniya Incident
Source: SBS Sinhala

3 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

මහනුවර තෙල්දෙණිය ඉන්ධන පිරවුම් හලක් අසලදී පුද්ගලයෙකුට පොලුවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට කෝප වී කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් 24 දෙනෙකු තෙල්දෙණිය පොලීසිය මගින් ඊයේ (05/03)   අත්අඩංගුවට ගෙන තිබේ.

තෙල්දෙණිය පොලිස් ස්ථානය අසලට රැස්වූ දෙදහසක පමණ පිරිසක් මහනුවර මහියංගණ මාර්ගය අවහිර කරමින් පැය කිහිපයක් විරෝධය පළ කළ අතර පසුව පිරිස් විසින් වෙළද සැල් කිහිපයකට හානි කොට ඇත.

පහර කා මියගිය පුද්ගලයා වෘත්තියෙන් ලොරි රථ රියදුරෙකු වූ අතර අම්බාලේ සිට ලොරි රථය තෙල්දෙණිය දක්වා ධාවනය කරමින් සිටියදී පිටුපසින් පැමිණි ත්‍රිරෝද රථයකට ඉඩ නොදීමේ සිද්ධියක් මූලික කරගනිමින් මෙම ගැටුම ආරම්භ වී තිබේ.

තෙල්දෙණියේ පිහිටි සිය සේවා ස්ථානයට ලොරි රියදුරු හා සහායකවරයා පැමිණි අවස්ථාවේදී එම ත්‍රීරෝද රථයෙන් පැමිණි කිහිපදෙනෙකු පොලු හා පුටුවකින් රියදුරුට හා සහායකවරයාට පහරදී තිබේ.

මේ හේතුවෙන් සිහිසුන්ව සිටි රියදුරු ද තුවාල ලැබූ සහායකවරයා ද මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට ඇති අතර දින දෙකකට ( මාර්තු 02) පසුව රියදුරු මරණයට පත්වූ බව පොලීසිය වාර්තා කළේය.

තුවාල ලැබූ සහායකවරයා ප්‍රතිකාර ලැබ රෝහලින් පිටත්ව ගොස් තිබේ.

පහර දුන් පුද්ගලයින් පොලිස් අත් අඩංගුවට ගත් බව සඳහන්.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ එම්.ජී.කුමාරසිංහ නම් හතළිස් එක් හැවිරිදි දෙදරු පියෙකි.

ඔහුගේ දේහය පිළිබද අවසන් කටයුතු  ඊයේ (05/03)  පස්වරුවේ පුස්ගෝව පිහිටි  සිය නිවසේ පවුලේ සුසාන භූමියේදී සිදුකෙරිණි.

ඔහුගේ මළ සිරුර අම්බාලේ ග්‍රාමයට රැගෙන යන අවස්ථාවේදී  ගම්වාසීන් තෙල්දෙණිය උඩිස්පත්තුව මාර්ගයේ උඩිස්පත්තුවට හැරෙන ස්ථානයේ සිට ඉකුත් 03 වන දින මධ්‍යම රාත්‍රීය දක්වා මෙම මිනී මරුමට විරෝධය පළ කළහ.

මේ හේතුවෙන් මහනුවර මහියංගණ මාර්ගය පැය දෙකක පමණ කාලයක් අවහිර වී තිබුණි.

පසුව පෙරේදා තෙල්දෙණීය පොලීසිය අසලට රැස්වූ දෙදහසක පමණ පිරිසක් මහා මාර්ගය අවහිර කොට ටයර් පුළුස්සමින් සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා සිය විරෝධය පළ කළෝය.

Theldeniya Incident
Source: SBS Sinhala

මේ අතර ඇතමුන් වෙළද සැල්වලට හානි කොට ඇති අතර කලහකාරීන් පාලනය කිරීම සදහා පොලීසිය ජල හා කදුළුගෑස් ප්‍රහාර එල්ල කොට තිබේ.

එහිදී ප්‍රකෝප වූ විරෝධතාකරුවන් පොලීසිය වෙත ගල්වලින් ප්‍රහාර එල්ල කොට ඇති අතර මේ හේතුවෙන්  වාහන කිහිපයකට ද හානි වී ඇතැයි පොලීසිය කියයි.

මේ අතර තවත් පිරිසක් තෙල්දෙණියේ සිට කිලෝමිටර් පහක්  දුරින් පිහිටි දිගන නගරයේ නිවාස වෙළද සැල් කිහිපයකට ද හානි කොට තිබේ.

Theldeniya Incident
Source: SBS Sinhala

මේ සිද්ධි නිසා මහනුවර මහියංගණ මාර්ගය තෙල්දෙණිය හා දිගන නගරවලින් පැය කිහිපයක් අවහිරවී තිබුණි.

කලහකාරීන් පාලනය කිරීම සදහා මහනුවර පරිපාලන කොට්ඨාශයට බලපාන පරිදි ශ්‍රී ලංකා වේලාවෙන් අද (06/03) පෙරවරු 06.00 දක්වා බලපැවැත්වෙන පරිදි පොලිස් අදිරි නීතිය පැනවීමට කටයුතු කළ බව මහනුවර කොට්ඨාශභාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර පැවසීය.

ඇදිරි නීතියෙන් පසුව කළහකාරීන් විසිර ගිය අතර පස්වරු පහ පමණ වන විට මහනුවර ඇතුලු ප්‍රධාන නගර පාලු ස්වාභාවයක් ඉසිලූහ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now