SKIP TO MAIN CONTENT

උදයංග වීරතුංග ව අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිස් මූලස්ථානයෙන් රතු නිවේදනයක්.

INTERPOL has issued red warrant on Udayanga
Source: Daily News

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවී ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නොපැමිණි රුසියාවේ හිටපු තානාපති  උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිස් මූලස්ථානය රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.

උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් විවෘත වරෙන්තු නිකුත් කළ පසු එය ජාත්‍යන්තර පොලිසිය මගින් ක්‍රියාත්මක කිරීමට ඉල්ලීමක් කළ බවත්, ඒ අනුව ජාත්‍යන්තර පොලිස් මූලස්ථානය මුලින්ම නිල් නිවේදනයක් නිකුත් කර, පසුව රතු නිවේදනයක් නිකුත් කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

2006 වසරේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට යුක්රේනයේ යුක්රේන්මාෂි නැමැති සමාගම වෙතින් මිග් ගුවන් යානා හතරක් මිලදී ගැනීම සහ ශ්‍රි ලංකා ගුවන් හමුදාව සතුව තිබූ මිග් ගුවන් යානා හතරක් අළුත්වැඩියා කිරීමේදී මූල්‍ය අක්‍රමිකතා සිදුවී ඇති බවට 2015 මාර්තු 10 වැනි දා මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ වූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසුවේය.

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මේ ගනුදෙනුවට මැදිහත්ව කටයුතු කර ඇති බව විමර්ශනයේ දී අනාවරණය වී ඇති බවත් ඔහුගේ බැංකු ගිනුම් වෙත විදේශ රටවල් වලින් සැකකටයුතු ලෙස විශාල වශයෙන් මුදල් බැරවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් වීරතුංග මහතාගෙන් ප්‍රශ්න කිරීමට කැඳවූවත් නොපැමිණි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now