SKIP TO MAIN CONTENT

හකීම් සහ බදියුදීන් රාමඤ්ඤ නිකායේ මහ නායක හිමියන් බැහැදැක මුස්ලිම් ජනතාවට සිදුව ඇති අසාධාරණය ගැන කියූ දෑ

Hakeem_Bathiudeen_Ramanna Buddhist chapter _ Sri Lanka
Hakeem_Bathiudeen_Ramanna Buddhist chapter _ Sri Lanka Source: SBS Sinhala

3 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

හිටපු අමාත්‍යවරුන් වන රවුෆ් හකීම්, ඒ.එච්.එම්.ෆවුසි, එම්.එච්.ඒ හලීම්, රිෂාඩ් බදියුදීන් යන මහත්වරු ඇතුලු පිරිසක් ඊයේ ( ජූනි 11) ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමිපාණන් වහන්සේ බැහැ දැක ආණ්ඩුවෙන් ඉවත්වීම සහ ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබදව උන්වහන්සේ දැනුවත් කළහ.

කණ්ඩායම වෙනුවෙන් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා මෙසේ එහිදී අදහස් දක්වා සිටියේය,

"...කුරිරු ත්‍රස්තවාදයට වගකිව යුතු කල්ලි නීතියේ රැහැනට හසු කර ගැනීම සඳහා මුස්ලිම් ජනතාව මෙන්ම මුස්ලිම් අමාත්‍යවරුන් ක්‍රියාකරමින් සිටි අවස්ථාවක ජාතිවාදය පදනම් කර ගනිමින් අපට චෝදනා එල්ල වුණා. අමාත්‍යවරුන් හා ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්විය යුතු යැයි කියමින් රට පුරා ආරම්භ වුණු විරෝධතා ප්‍රචණ්ඩ තත්ත්වයට පත්වුණා. එහිදී අප අසරණ තත්ත්වයට පත්වුණා. මේ නිසායි සමස්ථ මුස්ලිම් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමටයි තීරණය කළේ.

ඉල්ලා අස්වීමට පෙරදී මෙන්ම අස්වූ පසුව ද රජයෙන් අප බලාපොරොත්තු වුණු ප්‍රතිචාරය එතරම් සුභදායක වුණේ නැහැ. අප සංකේතාත්මක ඉල්ලා අස්වුවද රජයේ ප්‍රතිචාරය මීට වඩා ලැබිය යුතු යැයි අප අපේක්ෂා කරනවා.

චෝදනා නොමැති අමාත්‍යවරුන් ද ඉල්ලා අස්වීම තුළ සියලු දෙනා අද වැටී සිටින්නේ එක ගොඩකටයි. නමුත් මෙවැනි ආකල්පයක් ඇති නොවිය යුුතුයි. ඉල්ලා අස්වී ඇති අවස්ථාවක අපට එල්ල කර ඇති චෝදනා පිළිබදව සොයා ලබා පරීක්ෂණ පවත්වන ලෙස අප කියා සිටිනවා.

ජනතාව කුපිත කිරීම සඳහා අද වන විට වෛරී ප්‍රකාශන ඇතමුන් මතු කරනවා. පවතින තත්ත්වය මත හැගුම් බරවී ජාතීන් අවුස්සන් තත්ත්වයන් දෙපාර්ශවය තුළින් ම දැකිය හැකියි. මෙවැනි තත්ත්වයන් වළක්වාලීම සඳහා ප්‍රමාණවත් වැඩපිළිවෙලක් සකස් විය යුතුයි.


විශේෂයෙන් නැගෙන හිර හිටපු ආණ්ඩුකාර M.L.A.M හිස්බුල්ලා විසින් සිදුකොට ඇති .."ශ්‍රී ලංකාවේ සුළුතරයක් වුණාට සමස්ථ ලෝකයේ මුස්ලිම් ජනතාව බහුතර බවත් ඒ නිසා අප කිසිවෙකුටත් අවනත නොවිය යුතු යැයි" වන ප්‍රකාශය අප හෙළා දකිනවා. ඒ ප්‍රකාශ අප කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ.


 මුස්ලිම් අමාත්‍යවරුන් සියලු දෙනාම එකවර ඉල්ලා අස්වීමේ ක්‍රියාදාමය සංහිදියාව තහවුරු කිරීමට අප කළ යම් පරිත්‍යාගයක් ලෙස හැදින්විය හැකියි ...' යනුවෙන් හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා එහිදී මහනායක හිමියන් හමුවේ ප්‍රකාශ කළේය.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් කියූ දෑ

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මහා නායක හිමියන් හමුවේ අදහස් දක්වමින් මෙසේ පවසා සිටියේය

"... ලෝක ත්‍රස්තවාදයක් පරාජය කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා. පසුගියදා ප්‍රහාරයෙන් පසුව ද ත්‍රස්තවාදය මර්ධනය කිරීම සඳහා මුස්ලිම් ජනතාව විශාල සහයෝගයක් ලබා දුන්නා. ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව, ත්‍රස්තවාදීන් කවුදැයි හදුනා ගැනීම සඳහා ආරක්ෂක අංශ වෙත උපකාර කළා. ශ්‍රී ලංකාවේ සියලුම මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදයට විරුද්ධයි.

ඒ ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා අද මෙන්ම ඉදිරියේදී අප සහයෝගය ලබා දෙනවා. දේශපාලන පක්ෂ මෙන්ම ඇතැම් මාධ්‍ය ද මේ ත්‍රස්තවාදය සිය දේශපාලනික වාසි සඳහා උපයෝගී කර ගත්තා. පල්ලිවල කඩු තිබෙනවා යැයි දිගින් දිගටම පෙන්වමින් ඔවුන් උත්සහ කරන්නේ තමන්ට අවශ්‍ය දේශපාලඥයා බලයට පත් කිරීමටයි. මට එරෙහි විශ්වාසභංගය ද දේශපාලන වාසි පදනම් කර ගනිමින් එල්ල කරන ලද්දක්.

අයි. එස්. ත්‍රස්තවාදයට ශ්‍රී ලංකාවේ සියලුම මුස්ලිම් ජනතාව සියයට සියයක්ම විරුද්ධයි. එම ත්‍රස්තවාදය පරාජය කළ යුතුයි. ඒ සදහා සිංහළ, දෙමළ, කතෝලික ජනතාවගේ ද සහයෝගය ලබා ගත යුතු යැයි මතයේ තමයි අපි ඉන්නේ...." යැයි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රකාශ කළේය.

මහ නායක හිමියන් එහිදී කියූ දෑ ....

එම අවස්ථාවේදී හිටපු අමාත්‍යවරුන් හමුවේ අදහස් දක්වමින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහා නායක අතිපුජ්‍ය නාපාන පේමසිරි හිමියන් සඳහන් කොට සිටියේ මුස්ලිම් ජනතාව හා තිබුණු දීර්ඝකාලීන සාමදානයට අල්පමාත්‍රයක හෝ හානියක් සිදුකරන්නේ නම් ඔවුන් මුස්ලිම් ජනතාවට විරුද්ධවාදී පිරිසක් ලෙස ඉතිහාසගත වනු ඇති බවයි.

යම් වරදක් මහ රහතන් වහන්සේ අතින් පවා සිදුවිය හැකි බැවින් මේ වන විට සිදුව ඇති සියලු වැරදි හා අතපසුවීම් ආදර්ශයක් බවට පත් කොට යළි ජීවිතය සකස් කර ගත යුතු යැයි ආණ්ඩුවෙන් ඉවත්වූ මුස්ලිම් අමාත්‍යවරුන් හමුවේ මහ නායක හිමියන් සඳහන් කොට සිටියේය.

** SBS සිංහල සේවයේ වාර්තාකරු නදීක දයා බණ්ඩාර ශ්‍රී ලංකාවේ සිට සැපයූ තොරතුරු ඇසුරිනි


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now